අංගොඩ ලොක්කාගේ මරණය ගැන රෝ ඔත්තු සේවාව පරීක්ෂණ අරඹයි
Saturday, 08 August 2020 - 12:43 | Views - 848

මෙරට අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිට ඉන්දියාවට පලාගොස් තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදී අභිරහස් ලෙස මියගිය මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා පිළිබඳව ඉන්දීය රෝ ඔත්තු සේවාව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා එහි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ ජනරාල් ජේ.කේ. ත්‍රිපති මුණගැසුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
වසර තුනක් තිස්සේ අංගොඩ ලොක්කා, ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් සැඟවී සිටි ආකාරය මෙන්ම විෂ ශරීර ගතකිරීමකින් ඔහු මියගිය බවට වන වාර්තා පිළිබඳව ඉන්දීය ඔත්තු සේවාව පරීක්ෂණ පවත්වනු ඇති.
පසුගිය ජූලි 3 වනදා කොයිම්බතූර් හිදී අංගොඩ ලොක්කා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් යැයි පවසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදියි.
කෙසේ නමුත් ඔහුගේ මරණය පිළිබඳව අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත්වූ අමානි තන්ජි නැමති ශ්‍රී ලාංකික කාන්තාව මෙන්ම තමිල්නාඩු කාන්තාවන් දෙදෙනෙකු වන ටී සිවගාමි සුන්දරී සහ එස්. ඩයිනේස්වරන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි හිදී ආදාහනය කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව අංගොඩ ලොක්කාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම ඔහුගේ අවසන් කටයුතුවලට අදාළ ලේඛන රැසක් රෝ ඔත්තු සේවාව විසින් ලබාගෙන ඇති බව සඳහන්.
අංගොඩ ලොක්කාට රැකවරණ සැපයූ සිවගාමි සුන්දරී, මදුරෙයි හි නීතීඥවරියක් වන අතර, ඇගේ බැංකු ගිණුම් හතක ඉන්දීය රුපියල් කෝටියකට වැඩි මුදල් පැවති බව අනාවරණ වී තිබෙනවා.
ඇගේ පියා එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු බැවින් අංගොඩ ලොක්කාගේ මරණයට එල්.ටී.ටී.ඊ. සම්බන්ධයක් පවතීද යන්න රෝ ඔත්තු සේවා පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක්ව ඇති කරුණක්.
Share This Article