මනාප ලැයිස්තුවල මුල් තැනට නවක මන්ත්‍රීවරුන් - රනිල් ඇතුලු හිටපු මන්ත්‍රිවරුන් පිරිසකට ආසන අහිමි වෙයි
Friday, 07 August 2020 - 13:21 | Views - 4,614

පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට සිය ධුර අහිමිවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික දයා ගමගේට සිය පාර්ලිමේන්තු අසුන් අහිමිවුණා.
කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලද පරාජයට පත්වූ අතර, සමගි ජනබලවේගයෙන් තරග කළ ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්ම සුජීව සේනසිංහ ද පරාජයට පත්වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුලිප් විජේසේකර මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහට තරග කළ රුවන් විජේවර්ධනට සහ අර්ජුන රණතුංගටද සිය ආසන අහිමිවුණා.
අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා, චතුර සේනාරත්න, එඞ්වඞ් ගුණසේකර ද මෙලෙස ආසන අහිමිවූවන් අතර වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් පෙර පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්නටද සිය මන්ත්‍රි ධුර අහිමිවුණා.
මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර අහිමිවී ඇත්තේ පොදුජන පෙරමුණෙන් තරග කළ ලක්ෂ්මන් යාපාටයි. ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්තිටද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමන් දැරූ මන්ත්‍රි ධුරය අහිමිවී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ වජිර අබේවර්ධන, සමගි ජනබලවේගයෙන් තරග කළ විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේට ද සිය මන්ත්‍රී ධුර අහිමිවුණා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට සිය මන්ත්‍රි ධුරය අහිමිවූ අතර, පොදුජන පෙරමුණෙන් එම පක්ෂයට තරග කළ එස්.බී. නාවින්න, තාරනාත් බස්නායක, ටී.බී. ඒකනායක මෙන්ම ඉන්දික බණ්ඩාරනායකටද ආසන අහිමිවුණා.
පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පාලිත රංගේ බණ්ඩාරටද සිය මන්ත්‍රි ආසනය අහිමිවූ අතර, යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, පී සරවනබවන් සහ විජයකලා මහේෂ්වරන්ටද සිය ආසන අහිමිවීම විශේෂත්වයක්.
Share This Article