SF ලොක්කාට වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු රැසක්
Thursday, 06 August 2020 - 8:52 | Views - 78,541

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වෙඩි තබා පලාගිය යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සී සී ටී වී දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අනුරාධපුර - දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදී ඊයේ දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
පසුව ඔහු ගමන් ගත් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන තිබුණේ වෙඩි ප්‍රහාර එල්ලවීම හේතුවෙන්.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.
පොලීසිය සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයේ වේගය අඩු කළ අවස්ථාවේදී මෝටර් රථය ඉදිරිපස යතුරුපැදිය නවතා එම පුද්ගලයා විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෝටර් රථය ඉදිරිපසින් වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා රියදුරු අසුන ආසන්නයට පැමිණ තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එලෙස වෙඩි ප්‍රහාර හතක් පමණ එල්ලවී ඇති බවයි.
වෙඩි වැදුණු ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාගේ දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.
එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඊයේ දිනයේම පොලීසියට නියෝග කළා.
කෙසේ වෙතත් ඔහුට වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
එස්.එෆ්. ලොක්කා, කරළියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා අනුරාධපුර - කඩපණහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමඟයි.
පසුව පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියා.
Share This Article