මාස පහක් වයස කිරිකැටියයි, චූටි දුවෙකුයි, පන්සලකට දමා පැන ගිය මවක් කළ පාපකර්මය
Friday, 31 July 2020 - 15:52 | Views - 196

අවුරුදු දෙකහමාරක කුඩා දියණියක හා මාස පහක් වයසැති බිළිඳකු කොස්ලන්ද ශ්‍රී ආරියවංශරාම විහාරස්ථානයේ අතහැර දමා ගිය බව කියන 28 හැවිරිදි මවක්, සැකපිට පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය සඳහන් කළා.
මෙම කාන්තාව කොස්ලන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති බවත් ඇය සැමියාගේ නිවසේ සිට ඇති බවත් පොලිසිය පැවසුවා.
සැමියා සමඟ ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් හා මාස පහක් වයසැති බිළිඳු පුතා සමඟ කොස්ලන්ද ආරියවංශාරාමයට පැමිණ විහාරස්ථානයේ හිමියන්ගෙන් විහාරස්ථානයේ නවාතැන් ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් උන්වහන්සේ ඇයට දරු දෙදෙනා සමඟ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තාවකාලිකව නතර වීම සඳහා ඉඩ සලසා ඇති බවත් සඳහන්.
උදෑසන බැලීමේදී සිඟිති දරුවන් දෙදෙනා පමණක් විහාරස්ථානයේ නිදාගෙන සිට ඇති අතර මව නොසිටි හෙයින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබුණූ බවද පොලිසිය පැවසුවා.
පොලිස් නිලධාරින් පිරිසක් විහාරස්ථානයට කඩිනමින් පැමිණ අවුරුදු දෙකහමාරක් කුඩා දියණිය හා මාස පහක් වයසැති බිළිඳු පුතා පොලිසියට ගෙන ගොස් අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.
සිඟිති දරු දෙදෙනා විහාරස්ථානයේ අතහැර දමා ගොස් සිටි සැකකාර මව කොස්ලන්ද නිකපොත ප්‍රදේශයේදී පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇය සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සිය සිඟිති දරු දෙදෙනා විහාරස්ථානයේ දමා ගොස් ඇතැයි සිදුකළ විමර්හන කටයුතුවලදී අනාවරණ වී තිබෙනවා.
ප්‍රසාද් රුක්මල් (ලංකාදීප පුවත්පත.)
Share This Article