විවාහ වෙන්න මාසයක් තිබියදී, අකාලයේ මරු වැළඳගත් චතුරංගගේ හද කම්පා කරවන කතාව
Thursday, 30 July 2020 - 10:54 | Views - 671

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත ප්‍රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටින අතරතුර තම මව සමඟ පොද වැස්සෙන් බේරෙන්නට ගිය 26 හැවිරිදි තරුණයෙකු පසුගියදා අකාලයේ මිය යන්නේ අකුණු සැර වැදීමෙනුයි.
මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නේ ලබන මාසයේදී යුග දිවියට පිවිසීමට බලාපොරොත්තුව සිටි ඌව, පැල්වත්ත, පස්සර පාර ලිපිනයේ පදිංචි එම් ජී දිමුතු චතුරංග නැමති 26 හැවිරිදි තරුණයෙක්. ඔහුට සිදු වූ විපතින් ඒ මුළු ගම්මානයේ පදිංචිකරුවන් තවමත් පසුවන්නේ කම්පාවෙන්.
චතුරංග ගැන ගමේ අයගේ ප්‍රසාදය ද ඉතා ඉහළයි.
"කොල්ලා හරි ඉක්මනට දියුණු වුණා. ලක්ෂ ගාණක් වැය කරලා ලස්සන ගෙයක් හැදුවා. ගමේ හැම පොදු වැඩකටම උදව්කරනවා, සහයෝගය දෙනවා, කඩියා වගේ වැඩ කරනවා, ගොයම් කපන මැෂිමකුත් ගත්තා. අම්මට පවුලේ අයට හරිම ආදරෙයි. ගමේ කවුරු අතරමඟදී මුණ ගැහුණත් කතාබහ කරනවා. හිත හොඳ එකා.." ඌව පැල්ලවත්ත ගම්වැසියන් තවමත් හැඬූ කඳුළින් එසේ කියන්නේ චතුරංගගේ අකල් මරණය ගැන කම්පාවෙනුයි.
"හදිස්සියේම මේ සිද්ධ වුනේ මොකද්ද කියලා අපිට හිතාගන්නත් බෑ. ලබන මාසේ කොල්ලා කසාඳ බඳින්න හිටියේ.."
"පැල්වත්තේ හයේ කණුව ප්‍රදේශයේ ඥාති කෙනෙක්ගේ මළගෙයක් වුනා. ඒකේ අවසන් කටයුතු කරලා දානේ දීලා ඒ වැඩකටයුතු අවසන් වුනාට පස්සේ තමයි කුඹුරේ ගොයම් කපන්න හිටියේ. නැත්තම් අපි මෙලහකටත් ගොයම් කපලා ඉවරයි.."
"මමයි පුතයි කුඹුරේ ගොයම් කපමින් හිටියේ පොද වැස්සක් ආපු නිසා පුතා කිව්වා. අම්මේ අපි ගහ යටට යමු කියලා. එතැනට ඇවිල්ලා විනාඩියක්වත් ගියේ නෑ, මගේ රංකඳ කඩාගෙන වැටුණා.."
"පුතාට මොනවා වුණාද කියලා හිතාගන්න බැරිවුණා. බලනකොට සාක්කුවේ තිබුණු පෝන් එකට අකුණ වැදිලා කියලා තේරුනා.."
"මගේ කොල්ලා ලබන මාසේ එයා මහන්සි වෙලා තනියෙන්ම හදපු ගෙට ගෙවැදිලා විවාහ වෙන්නත් එක්ක හිටියේ.." මව හැඬූ කඳුළින් කියා සිටියේ ද චතුරංගගේ අකල් මරණයෙන් දැඩි කම්පාවට පත් වෙමිනුයි.
පොද වැස්ස සමඟ ගස අසළට ආ චතුරංගගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදුණු අකුණු පහර ඔහුගේ කකුල ඔස්සේ ගමන් කර තිබෙනවා. එහි කම්පනයත් ශරීර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන්ට සිදුවුණු හානිය නිසා මියගොස් ඇති බව පරීක්ෂණයේදී තහවුරු වුනා.
මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදු කළ අතර ඒ මහතා පවසා සිටියේ විශේෂයෙන්ම වැසි අවස්ථාවල වාගේම අකුණු සැර පවතින අවස්ථාවල දුරකතන ක්‍රියා විරහිත කර තැබීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට හැකි බවයි.
ඊට හැම දෙනාගේම අවධානය යොමු විය යුතු බව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ඒ මහතා සඳහන් කළා.
ජී අයි ආර් ගරුසිංහ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.....
Share This Article