රූපවාහිනි යන්ත්‍රය හිසමතට වැටී පෙර පාසල් දැරිය අකාලයේ මිලිනවෙයි
Wednesday, 29 July 2020 - 9:15 | Views - 10,613

මව විසින් කෑම කවමින් සිටියදී අඟල් විසිඑකේ පැරැණි රූපවාහිනි යන්ත්‍රයක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ දැරියක රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි කියන සිද්ධියක් නවගමුව පොලිසියෙන් වාර්තා වෙයි.
පෙරේදා (26) උදෑසන 10.30 ට පමණ සිදුවී ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලිනුකි වර්ෂිකා රාජපක්ෂ නමැති අවුරුදු පහමාරක් වයසැති පෙර පාසල් දැරියකි.
සිද්ධිය වූ දින මියගිය දැරියගේ මව ඇයට කෑම කවමින් සිට වතුර එකක් ගෙන ඒම සඳහා නිවසේ මුළුතැන්ගෙට ගොස් තිබේ. එහිදී දැරිය තම නිවසේ කාමරය තුළ වූ රූපවාහිනි යන්ත්‍රය අසලට ගොස් ඇති අතර එහිදී රූපවාහිනි යන්ත්‍රය ඇයගේ හිස මතට වැටී ඇතැයි මියගිය දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබේ.
එහිදී නිවසේ නාන කාමරය තුළ සිටි දොළොස් හැවිරිදි වැඩිමහල් පුතු එම ශබ්දය පිළිබඳ විමසීමේ දී තම බාල සොහොයුරිය වැටී සිටින අයුරු දැක තිබේ.
එහිදී ඒ බව තම මවට දන්වා ඇත. ඒ අනුව දැරිය වහාම නවගමුව රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසා ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන නවගමුව පොලිසිය පවසයි.
නවගමුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පො. සැ. (56992) රෝහිත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.
Share This Article