රටක්ම කම්පාවට පත් කරමින්, මවගේ අනියම් සැමියා අතින් අමානුෂික ලෙස අපයෝජනය වී නොඑන ගමන් ගිය, 10 හැවිරිදි දැරිය
Wednesday, 29 July 2020 - 8:57 | Views - 235

කුඩා දැරියක් පුත්තලම රෝහලට ඉකුත් දා (14) ඇගේ මව විසින් රැගෙන එන්නේ දැරියට සර්පයෙකු දෂ්ඨ කර ඇති බව පවසමිනුයි.
ඇය රෝහලට රැගෙන ආවේ ඇගේ මව හා මවගේ සහෝදරියක් විසිනුයි.
ත්‍රීරෝද රථයෙන් දැරිය ඔසවාගෙන යෑමට නොහැකි තරම් ඇගේ සිරුර ඒ මොහොතේ අඩපණව තිබුණා.
"දොස්තර මහත්තයෝ! මගේ දුව බේරලා දෙන්න අයියෝ මගේ පණට මොකද උනේ..." මව එලෙස විලාප දෙද්දි අසළ සිටි අයකු කම්පා වූයේ මේ දැරියට සිදුවී ඇති විපත ගැනයි.
රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව දැරියට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළද බාහිර රෝගී අංශයේදීම ඇය මිය ගියේ රෝහල් කාර්ය මණ්ඩලය ද කම්පාවට පත් කරමින්.
මෙසේ මිය ගියේ සිම්බිඅඩිය ආසිරිගම පදිංචිව සිටි නෙත්තසිංහ ආරච්චිලාගේ සෙනුරි සේපාලිකා වාසල නම් දැරියයි. ඇය මිය යන විට 10 හැවිරිදි වියේ පසු වුනා.
දැරිය මිය ගිය බව රෝහල් පොලිසිය විසින් පුත්තලම පොලිසියට දැනුම් දීමට කටයුතු කළේ මින් අනතුරුවයි.
පුත්තලම පොලිසියේ නිලධාරින් මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු කිරීමට සැරයන් ප්‍රදීප්ට භාර කෙරුනා.
සැරයන් ප්‍රදීප් විමර්ශන කටයුතු සඳහා දක්ෂ නිලධාරියෙක්. යම් සිද්ධියක් පසුපස හඹා යෑමෙන් තොරතුරු හෙළිදරව් කර ගැනීමට තරම් තීක්ෂණ බුද්ධියක් ඇති අයෙක්. ඔහු දැරියගේ සිරුර හොඳින් පරීක්ෂා කර බැලුවා. සුළු සීරිම් දෙකක් ඇගේ එක් පාදයක දකින්නට ලැබුනේ ඒ අතරයි.
දැරිය රෝහලට රැගෙන ආ මවගෙන්ද මේ සිද්ධිය සම්බන්ධව විමසීමක් කළ සැරයන්වරයා ට යම් සැකයක් මතුවීම හේතුවෙන් දැරියගේ නිවසට ගොස් පරීක්ෂා කර බැලීමට තීරණය කළා.
පුත්තලම මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සූජීව වික්‍රමසිංහ මහතාට මේ බව දැනුම් දී මිය ගිය දැරිය රැගෙන ආ ත්‍රීරෝද රථයෙන්ම සැරයන් ප්‍රදීප් එම නිවසට යාමට පිටත් වුනා.
දැරියගේ නිවස පිහිටියේ පුත්තලම රෝහලේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි සිරම්බිඅඩිය ආසිරිගම ප්‍රදේශයේ යි. අත්තර 15 කින් පමණ යුත් පොල් ඉඩමක මුර සේවයේ යෙදෙන දැරියගේ මව ප්‍රථම විවාහයෙන් වෙන්වී මීට මාස කිහිපයකට පෙර ජීවත් වන්නේ අනියම් සැමියා සමඟයි.
ඇයට පළමු විවාහයෙන් දරුවන් හය දෙනෙකි. ඉන් දරුවන් සිව් දෙනෙකු ඇගේ ඥාතීන්ගේ නිවස්වල ජීවත් වන අතර වයස අවුරුදු දහයේ දියණිය හා තවත් අවුරුදු හතරක පුතෙකු මේ දෙපළ සමඟ ජීවත් වුනා.
ඇස්බැස්ටස් සෙවිලි කළ කුඩා නිවසේ නිදන කාමරයක්, සාලයක් හා කුස්සියකින් සමන්විතයි.
දැරිය නිවසේ කාමරට තුළ නිදා සිටි බවත් ඇය අනියම් සැමියා හා ඇගේ වයස අවුරුදු 4ක දරුවා සමඟ ඉස්තෝප්පු කාමරයේ නිදාගත් බවත්, දියණියගේ මව සැරයන් ප්‍රදීප්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස පැවසුවා.
මවගෙන් සිදු කළ ප්‍රකාශයට අනුව මියගිය දැරිය නිදා සිටි බව කියන කාමරය හොඳින් පරීක්ෂා කර බැලීමට සැරයන්වරයා කටයුතු කළා. ඇය ඇඳ ඇතිරිල්ලක් එලා බිම නිදා සිටි බව මව සැරයන්වරයාට ප්‍රකාශ කළා.
සිමෙන්ති පොළවේ ලේ පැල්ලම් කිහිපයකි. මිදුලේ ද වැලිවල මිශ්‍ර වූ ලේ පැල්ලම් කිහිපයක් තිබුනා. තවත් හොඳින් පරීක්ෂා කිරීමේදී වළ දමා තිබූ ලෙයින් තෙත් වී ඇති රෙදි කැබැල්ලක් ද සැරයන් ප්‍රදීප්ට හමුවුනා.
මියගිය දැරියගේ කකුලේ තිබූ සීරිම් තුවාල දෙකින් මෙසේ ලේ වහනය වීමට නොහැකි බව තේරුම් ගත් සැරයන් ප්‍රදීප් පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. ඒ. වන්නිආරච්චි මහතාට දුරකථන ඇමතුමක් දී සිද්ධිය සම්බන්ධ සියලු තොරතුරු දැනුම් දුන්නේ ඒ අනුවයි.
මෙම දැරියගේ සහෝදර, සහෝදරියන් සිව්දෙනෙකුම හැදී වැඩෙන්නේ අවට ඥාති නිවෙස් වලයි.
මේ දරුවන් සියල්ලෝම පාසල් අධ්‍යාපනයට යොමු කර නැහැ. වයස අවුරුදු දහයක දියණිය වැඩිවියට පත් වී නොමැති බවද පොලිසියට තොරතුරු හෙළි වුනා.
පැමිණි නිලධාරින් නිවස හා ඒ අවට හොඳින් පරීක්ෂා කළා. එහිදී තවත් ලේ සහිත රෙදි කැබලි වළ දමා තිබූ ස්ථාන තුනක් හඳුනා ගත හැකි වුනා. ඒ අවට මැස්සන් විශාල වශයෙන් දැක ගත හැකි වුනා.
බල්ලන් කීප දෙනෙකු රෙදි වළ දමා ඇති වළවල් අසළ ගැවසෙන අයුරු පොලිස් නිලධාරින්ට දැක ගත හැකි වුනා.
එසේම මිය ගිය දැරිය නිදා සිටි කාමරයේ බිම සෝදා ඇති බව තහවුරු කර ගැනීමට පොලිසියට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. පොලිසිය ඒ අනුව සූක්ෂමව මවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා.
එලෙස විමසීමේදී සියලු තොරතුරු පොලිසියට පැවසීමට ඇයට සිදු වුනා.
"සර් මම ඇත්තම කියන්නම්. ඊයේ (15 වැනිදා.) රාත්‍රීයේ 8ට විතර මම මීට ටිකක් එහායින් ඉන්න අම්මා කෙනෙක් හම්බවෙන්න ගියා. විනාඩි 15ක් විතර මම එහෙ ඉඳලා ගෙදර එද්දි දුව හිටගෙන ඉන්නවා ගේ ස්තෝප්පුව ළඟ. දුව අඬනවා. දුවගේ ශරීරයෙන් ලේ බින්දු කීපයකුත් ගලාගෙන ආවා.."
"මම මේ ගැන සැමියාගෙන් ඇහුවා මොනවද සිද්ධ වුනේ කියලා. වැඩි දෙයක් අහන්න ලැබුනේ නෑ. ඊට පස්සෙ මමයි දුවයි කාමරේට දාලා කිසි දෙයක් කියන්න එපා කියලා පිහියක් පෙන්නලා මරනවා, නිදාගන්න කිව්වා. එයයි මගේ අනිත් පුතයි ඉස්තෝප්පුවේ නිදාගත්තා.."
"දොර වහලා නිසා අපිට එළියටවත් එන්න බැරිව ගියා. උදේ ඇහැරිලා බලද්දි දුව මළානික වෙලා. ගොඩක් අමාරුයි වගේ දැණුනු නිසා මම කෑගහලා කිව්වා දොර අරින්න කියලා. ඊට පස්සෙ දොර ඇරලා ත්‍රීවිල් එකක් අරන් එන්නම් කියලා මේ කිසි දෙයක් කාටවත් කියන්න එපා කියලා, කිව්වොත් මරනවා කියලා යන්න ගියා. පස්සේ ටිකක් වෙලා බැලුවා. එයා නෑ.."
"මම නංගිට කතා කරලා ත්‍රීවිල් එකක් අරන් නංගිත් එක්ක දුව ඉස්පිරිතාලේට අරන් ආවා. ඒ ඇවිල්ලා ටික වෙලාවකින් මගේ දුව නැතිවුනා.."
වැඩිවියටද පත් නොවී සිටි මෙම 10 හැවිරිදි දරුවා කෙලෙසා දැමූ නරුමයා ත්‍රීවිල් එකක් රැගෙන එන බව පවසා ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.
අමානුෂික ලෙස ලිංගික හිංසනයට ලක්වීම හේතුවෙන් සිදුවූ අධික රුධික වහනය මෙම මරණයට හේතුවූ බව පුත්තලම විශේෂඥ වෛද්‍ය සුජීව වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුනා.
කෙසේ වෙතත් මේ දියණියගේ මව විසින් අවස්ථා දෙකකදී පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ පරස්පර බව සඳහන්.
පසුව ලබා දුන් ප්‍රකාශ වුවත් සම්පූර්ණයෙන් සත්‍යය ප්‍රකාශ නොවන බවට සැක යැයි විමර්ශන නිලධාරින් සඳහන් කළා.
ඇයද මෙම අපරාධයට තරමක අනුබල දී ඇතැයි පොලිසිය පවසනවා.
ඇතැම් මව්වරු සිය දූ දරුවන් ගැන තඹ දොයිතුවකට මායිම් නොකර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ කරගැනීමට කටයුතු කිරීම ඛේදජනකයි. දරුවන්ගේ ආරක්ෂාව ගැන හැම අතින්ම සොයා බැලිය යුත්තේ මාපියන්ය.
එසේ වුවත් තම වගකීම් යුතුකම් මඟ හැර දරුවන් බිල්ලට දෙන මෙවැනි මව්වරුන්ට සමාජය මෙන්ම නීතියෙන් ද ගැලවීමක් නැත.
-මිහිර විජේසේකර විසින් "මාංචු" පුවත්පතකට ලියූ ලිපියකි.-
Share This Article