ශ්‍රී ලංකාව සමඟ එක්ව ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණය සංවර්ධනය කරනවා
Wednesday, 29 July 2020 - 8:10 | Views - 410

බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
මෙම තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් වරින් වර මාධ්‍ය වාර්තා පළවූ අතර, ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ අවධානය යොමුවී ඇති බවයි.
එහිදි ඉදිරිපත්වන ඵලදායී යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද එමඟින් බලාපොරොත්තු වනවා.
දැනට බදු පදනම මත ඉන්දියාවට ලබාදී ඇති ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි ටැංකි 25ක් යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සමග පැවති සාකච්ඡාවකදියි.
ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ තිබුණා.
2002 වසරේ එවකට පැවති රජය විසින් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පිහිටි තෙල් ටැංකි 100ක් බදු පදනම මත ඉන්දීය රජයට ලබා දීමට කටයුතු කළා.
එම ගිවිසුම වසර 35ක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට අයි.ඕ.සී .සමාගම එම තෙල් ටැංකිවල ඉන්ධන ගබඩා කිරීම සිදුකරනු ලබනවා.
Share This Article