හක්කපටස් නිසා තුවාල වූ අලි පැටවෙකු වගා ළිඳකට වැටී මරුට
Monday, 27 July 2020 - 9:45 | Views - 240
කැකිරාව කොටාගල ප්‍රදේශයේ වගා බිමක පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට වැටී මියගිය වන අලි පැටවෙකුගේ සිරුරක් ගල්කිරියාගම වනජීවී කාර්යාල නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලබා සිටි අලි පැටවෙක්.
එම සත්වයාට වයස අවුරුදු 5ක් පමණ වන අතර උස අඩි 4ක් පමණ වන බව සඳහන්.
ප්‍රතිකාර ලබමින් සිටි අලි පැටවා පසුගියදා කොටාගල ප්‍රදේශයේ වගා බිම් ආශ්‍රිතව සැරිසරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අලි පැටවා යාබද කලාවැව රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබුනා.
දෙවන වරටත් වගා බිම් වෙත පැමිණි අවස්ථාවේ අලි පැටවා අනාරක්ෂිත වගා ළිඳට වැටී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් සිදුවූ තුවාල හමුවේ ආහාර හෝ ජලය ලබාගැනීමට නොහැකිව සිටි අලි පැටවා වගා ළිඳෙන් ජලය පානය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට ඇද වැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
Share This Article