11, 12, 13 ශ්‍රේණි සඳහා පාසල් අද සිට විවෘතයි
Monday, 27 July 2020 - 8:36 | Views - 743

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් අද සිට යළි විවෘත කෙරෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා මෙම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බවයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා.
ඒ අනුව සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු 10 වන දා සිට යළි පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
සෞඛ්‍ය අංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
කෙසේ වෙතත් පාසල් ළමයින් ප්‍රවාහන කරන වෑන් රථ හා බස් රථ හිමිකරුවන් මේ වන විට ගැටළු රැසකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,782 දක්වා ඉහළ ගියා.
ආසාදිතයන් පස්දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ අතර, කටාර් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වුණා.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් තුන්දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ 665 දෙනෙකු පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,106ක්.
එමෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.
Share This Article