මෙරට 5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:40 | Views - 761

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට 829 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී නව ආසාදිතයින් හැටදෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1620ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මෙරටදී කොරෝනා වෛරසය වැළඳී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 781ක්.
ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාවට වඩා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, ඔවුන් පුත්තලම, කල්පිටිය, මුලතිව්, කන්දකාඩු සහ ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.
එසේම, අනෙක් ආසාදිතයින් 37 දෙනාගෙන් තුන් දෙනෙකු මාලදිවයිනේ සිටත්, 08 දෙනෙකු කුවේට් සිටත්, 26 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිටත් දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව විදේශ රටවල සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටියදී වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 467 ක්.
එසේම, පුද්ගලයින් 68 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගනු ලැබුවේ දේශීය වශයෙන් නිරෝධායන වලට යොමුකර සිටියදීයි.
නාවික හමුදා සාමාජිකයින් 759 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 388 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.
මේ අතර යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන හෝමාගම දියගම ප්‍රදේශයේ පිහිටි මොරටුව විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ, සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වූ සිසුන් 160 දෙනෙකු, අද සිය නිවෙස් වෙත පිටව ගියා.
එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 5,318 දෙනෙකු නිරෝධායනය වන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ.
මේ අතර, සිය සේවා කාලය අවසන් වීම හේතුවෙන් ඕමානයේ රැදී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඇතුලූ පිරිසක් ගැටලූ රැසකට මුහුණපා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වනවා.
අප මේ සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්මාල්ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා දහසක පමණ පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි.
ඔවුන් අතරින් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින් 400 දෙනෙකු පමණ ප්‍රමුඛතා ලේඛනයකට ඇතුළත් කර ඇති අතර, අවස්ථාවක් ලද සැණින් එම පිරිස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට සූදානම් බවත් තානාපතිවරයා සඳහන් කළා.
එසේම, ඕමානයේ - මස්කට් නුවර සිටින සයමස් තුන් දරු ගැබක් දරා සිටින සිය සහෝදරිය කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන ලෙස ගාල්ල - බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඇය කියා සිටියේ දරු ගැබට මාස 07 ක් සම්පූර්ණවීමට මත්තෙන් සිය සහෝදරිය දිවයිනට ගෙන්වා ගත යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇති බවයි.
බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් පිළිබඳ සොයා බැලීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
එහෙත්, බහරේනයේ වෙසෙන තවත් තරුණයින් පිරිසක් සිය ගැටලූ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට තවත් වීඩියෝවක් නිකුත් තිබුණා.
Share This Article