ඇඳිරි නීතිය පවතිද්දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හෙට
Sunday, 10 May 2020 - 8:27 | Views - 1,870
කොරෝනා හේතුවෙන් විවිධ සීමාවන්ට යටත් කළ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම හෙට සිට ආරම්භ කෙරෙනවා. කෙසේ වෙතත්, හෙට අලුයම 5 දක්වා දිවයින පුරා තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිලිවෙල සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය අද දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ.

පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි මෙම ගැසට් පත්‍රය මගින් නිකුත් කරනු ඇති.

ඇඳිරි නීතිය පවතිද්දී ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට අදාළව එම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතන විවෘත කොට පවත්වාගෙන යා යුතු අතර, පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10 ට විවෘත කළ යුතු වනවා.

ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයින් සංඛ්‍යාව ආදිය තීරණය කිරිම ආයතන ප්‍රධානීන්ට පැවරෙන අතර, ශ්‍රී ලංගම බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට පමණක් සීමා කෙරෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පසුගිය 6 වනදා රාත්‍රී 8 ට පැනවුණු ඇඳිරි නීතිය යළි හෙට අලුයම 5 ට ලිහිල් කෙරෙනවා.

ඒ අනුව, හෙට සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මකව පවතිද්දී මෙලෙස සේවාවන් ආරම්භ කෙරෙන අතර, රජය නිවේදනය කළේ සියලු සේවකයන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් අප විමසීමක් කළා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් වැඩකටයුතු දිස්ත්‍රික්කය තුළ ආරම්භ වන අතර, එම කටයුතු ඉටු කර ගන්නා පුද්ගලයින් කඩිනමින් තම නිවෙස් බලා ගමන් කළ යුතු බවයි.

මේ අතර, ජනතාවට අවශ්‍ය සේවාවන් ප්‍රමුඛතා ගතකර ඒ අනුව අදාළ කටයුතු දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට මේ වනවිටත් සැලසුම් කර අවසන් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් කියා සිටියා.

කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් කියා සිටියේ පළමු අදියරේදී දිස්ත්‍රික්කය තුළ සිටින සේවකයින් පමණක් කාර්යාලවලට ගෙන්වා ගෙන වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර අදහස් දක්වමින් කියා සිටියේ මහජනතාව එක්රැස්වීම අවම කිරීම සඳහා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාත්‍රී අට දක්වා විවෘත කර තැබීම කෙරෙහිද අවධානය යොමුකර ඇති බවයි.

හෙට දිනයේ කාර්යාල වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් බස් රථ 5700ක් යෙදවීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක සඳහන් කළේ මින් බස් රථ 3000ක් අවදානම් නොවන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති බවයි. ඉතිරි බස් රථ 2700 යොදවා ඇත්තේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි.

කෙසේ වෙතත්, දුර ගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමනාගමනය සිදුවන්නේ නැහැ.

කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ යුතු වනවා.

මේ අතර, දුම්රියෙන් කාර්යාල වෙත පැමිණීමට බලාපොරොත්තු වන සේවකයින්ට ද දුම්රියේ ගමන් කළ හැකි විශේෂ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දැනටමත්, තමන්ට අදාළ ආයතනය හරහා දුම්රියේ ගමන් කිරීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට ඒ සඳහා අවසර හිමිවන කෙටි පණිවුඩය අද දහවල් 12 න් පසු ලැබීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කෙටි පණිවුඩයේ දුම්රිය ගමන ආරම්භ වන ස්ථානය, තමන් පැමිණිය යුතු වේලාව සහ දුම්රිය ස්ථානය ද ඇතුළත් වනවා. එළඹෙන කාලයට අදාළ දුම්රිය කාල සටහනද අද දහවල් 12 න් පසු නිකුත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සඳුදා දිනයේ දුම්රියේ ගමන් කිරීමට යළි ඉල්ලීම් කිරීමට අවස්ථාවක් නොමැති නමුත්, අද දිනයේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, ර්සකඅ්හගටදඩගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් මීට අදාළව තවදුරටත් තොරතුරු ලබා ගත හැකියි.

මේ අතර, ප්‍රවාහන කටයුතු ඇරඹුණත්, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම සියලු සේවකයන්ගේ වගකීම බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මැයි මස 02 වැනිදා දක්වා ලබාදුන් සහන කාලය සඳහා අතිරේක සහන කාලයක් හෙට සිට මේ මස 29 දක්වා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

මාර්තු මස 01 වැනිදා හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් මේ අනුව හිමිවනවා.

එසේම, පෙබරවාරි 16 වැනිදා සිට පෙබරවාරි 29 වැනිදා දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා සඳහා දින 28ක කාලයක් තුළ ගෙවීම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දඩ පත්‍රිකා භාර ගැනීමද සිදුවනු ඇති.

හෙට සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘතව පවතින බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top