අමතක නොවූ ආගන්තුක සත්කාරය -[Video]
Sunday, 10 May 2020 - 6:18 | Views - 1,135

ආගන්තුක සත්කාර පුදකිරීම අතින් ගත් කළ ශ්‍රී ලංකාව පුරාතනයේ පටන් ලොව පුරා කීර්තිමත් නාමයක් හිමිකරගත් රටක්. කොවිඩ් 19 වෛරසය ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කළත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හීන කිරීමට නොහැකි වු පුවතක් ඇල්ල සංචාරක පුරවරයෙන් වාර්තා වුණා. අතිශය සුන්දර පරිසර කලාපයකට හිමිකම් කියන ඇල්ල සංචාරක පුරවරය දෙස් විදෙස් ජනතාවගේ නොමද ආදරය දිනාගත් ප්‍රදේශයක්. නිරන්තරයෙන් විදේශිකයන්ගෙන් පිරීපවතින ඇල්ල නගරයේ වීදි ජන ශුන්‍ය තත්ත්වයට පත්වුයේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනයට රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමගයි. ගුවන් ගමන් අවලංගුවීම හේතුවෙන් විදේශීය සංචාරකයන් 40ක් පමණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට කොටුවුණා.
තමන් සංචාරය සදහා මෙරටට ගෙනා ආ මුදල් ද ක්‍රමයෙන් හීන වද්දී දැඩි මුල්‍ය අර්බුදයකට පත් මේ පිරිසගේ සහනයට ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයක හිමිකරුවන් ඉදිරිපත්වී තිබෙනවා. ඒ අනුව විදේශිකයන්ගේ නවාතැන් ගාස්තු මෙන්ම තුන්වේලටම ආහාර පාන සැපයීම සදහා ද කිසිදු මුදලක් අය නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ආහාර නොමිලේ ලබාදුන්න ද ඒවා නියම සෞඛ්‍යා ආරක්ෂක ක්‍රමවේද අනුව උසස් ලෙස පිළියෙල කර සංග්‍රහ කිරීමට හෝටල් හිමියන් කටයුතු කරන්නේ මෙලෙසයි.
මේ උසස් ආගන්තුක සත්කාරත් සමග මෙම විදේශිකයන්ට වෙනත් රටක කොටු වී සිටින හැගීම කිසිවිටෙකත් නොදැනෙන බව මෙම දර්ශන සාක්ෂි සපයනවා. ගීත ගායනා කරමින් නිරන්තරයෙන් උද්යෝගයෙන් දවස ගෙවන මෙම සංචාරකයන් ශ්‍රී ලංකාවේ පරිසරයට ද බෙහෙවින් ආදරය කරනා පිරිසක්. ඊට හොදම නිදසුන වන්නේ ලහිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය මාර්තු මස 03 වනදා ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වය වනසමින් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් අක්‍රමවත් කසල බැහැර කිරීම සමබන්ධයෙන් අප කළ අනාවරණයයි. එහිදී ඇල්ලේ සුන්දරත්වය රැකගැනීම සදහා උද්ඝෝෂණයක නිරත වීමට ද මෙ සංචාරකයින් පෙළ ගැසුණා. ලොවම ආර්ථික අර්බුධයක හිරව ඇති මේ අවස්ථාවේ තමන්ගේ ආර්ථික අපහසුතා ද අමතක කර ඇති ශ්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරය පිළිබඳ මෙම සංචාරකයින් අදහස් පළ කළා.
Share This Article