මාර්ගයේ නිදාසිටි පිරිසක් මතින් දුම්රියක් ගමන් කිරීමෙන් ඉන්දියාවේ කම්කරුවන් 15ක් මරුට
Friday, 08 May 2020 - 10:59 | Views - 1,779

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ දුම්රිය මාර්ගයක නිදා සිටියදී බඩු දුම්රියක් ඔවුන් මතින් ගමන් කිරීමෙන් 20 දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කම්කරුවන්ගෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය දුම්රිය සේවාව ප්‍රකාශ කළේ දුම්රිය නතර කර ගැනීමට රියදුරා දැරූ තැත අසාර්ථක වී ඇති බවයි.
සංක්‍රමණිකයන් කිලෝමීටර් 157 ක් දුරින් පිහිටි ජල්නා සිට භූසවාල් දක්වා ගමන් කරමින් සිටි බව සඳහන්.
දිවි ගලවා ගත් සිව්දෙනෙකු කම්පනයට පත්ව සිටින අතර පස්වන පුද්ගලයා තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දැමීම නිසා නගරයේ අතරමංව සිටි මොවුන් නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීම ඇරඹී ඇත්තේ එම සීමාවන් ලිහිල් කිරීමත් සමඟයි.
කෙසේ නමුත්, ඔවුන්ට නිවෙස් වෙත යාමට ලබාදී ඇති ප්‍රවාහන සේවාවන් ප්‍රමාණවත් නොවන නිසා ඇතමුන් ගම්බිම් බලා යන්නේ පා ගමනින්.
කොරෝනා නිසා ඉන්දියාවේ ප්‍රදේශ වසාදමා තිබීම හේතුවෙන් දුම්රියද ධාවනය නොවන බවට උපකල්පනය කර මෙම සංක්‍රමණිකයන් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇතැයි ඉන්දීය පොලිසිය පවසා තිබෙනවා.
අද අලුයම 5.15 ට මුම්බායි සිට කි.මී. 360 ක් දුරින් ඔවුන් පසුකර මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය වූ බව සඳහන්.
අනතුරෙන් පසු දුම්රිය පාරේ පාවහන් සහ වෙනත් පෞද්ගලික බඩු බාහිරාදිය-වලින් පිරී තිබූ බවත්, ඔවුන් කෑමට රැගෙන ගිය රොටි පවා ධාවන පථවල දක්නට ලැබුන බවත් ඉන්දීය වාර්තාවල සඳහන්.
මෙම කණ්ඩායමේ ළමයින් නොමැති බවද වාර්තා වනවා.
සංක්‍රමණික සේවකයින් පිරිසක් මෙලෙස දුම්රියකට යට වී මිය යාම සම්බන්ධයෙන් තමන් ඉමහත් සන්තාපයට පත්වූ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
Share This Article