ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර සංගක්කාරගේ ධූරකාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එහි කමිටුව නිර්දේශ කර තිබෙනවා.
කොරෝනා වසංගත ලොව පුරා ව්‍යාප්තවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාවෙහි ඇතිව තිබෙන අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත්, කමිටු යෝජනාව ලබන ජුනි මස 24 වනදා පැවැත්වීමට නියමිත MCC මහ සභා රැස්වීමේදී සාමාජිකයින් විසින් අනුමත කළ යුතු වනවා.
සාම්ප්‍රදායිකව මෙම සමාජයේ පත්වන සභාපතිවරයා වසරක කාලයක් සදහා එම ධූරයෙහි සිය කටයුතු සිදු කළ යුතු බව ද සදහන්.
ඒ, අනුව පසුගිය වසරේ සභාපති ලෙස පත් වූ කුමාර සංගක්කාරගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 30 වනදා අවසන් වීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත්, මේ වනවිට මතුව ඇති අර්බුද තත්ත්වය හේතුවෙන් සංගක්කාරගේ ධූරය කාලය 2021 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කිරීමට නියමිතයි.
මෙලෙස සභාපතිවරයෙකුගේ ධූර කාලය දීර්ඝ කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර අවස්ථා දෙකකදී එම ධූර කාලය දීර්ඝ කර තිබෙනවා.
පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී මෙලෙස ධූර කාල දීර්ඝ කළ බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සදහන් කළේ.
1914-1918 වසරවල හෝක් සාමිවරයා ද 1939 -1945 වන කාලයේදී ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන්ගේ ධූර කාලය ද මෙලෙස දීර්ඝ කර තිබුණා.
මාලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන සභාපතිවරයා වන්නේ ද කුමාර සංගක්කාරයි.
පාකිස්ථානය වෙත තරග සංචාර දිරිමත් කිරීම සදහා කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් එරට තරගාවලියකට එක්වීම ඔහුගේ සභාපතීත්වය යටතේ සිදු වූ සුවිශේෂි මෙහෙවරක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
1973 වසරෙන් පසුව MCC කණ්ඩායමක් සිදු කළ පළමු තරග සංචාරය මෙය වීමත් විශේෂත්වයක්.