ජාතික රෝහලේ හෙද පාලිකාවට මෙන්ම බණ්ඩාරනායකපුර සහ සාලමුල්ලේ පුද්ගලයන්ට කොරෝනා නොමැති බව තහවුරුවේ
Wednesday, 06 May 2020 - 20:12 | Views - 853

කොළඹ ජාතික රෝහලේ හෙද පාලිකාවට මෙන්ම කොළොන්නාව- සාලමුල්ල සහ රාජගිරිය - බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඒ අනුව ඔවුන් ආසාදිතයන්ගේ ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.
අද දිනයේ මෙතෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් තුන්දෙනෙකු පමණක් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව ඔහු කියා සිටියා.
කොළඹ - මෝදර, රාජගිරිය - බණ්ඩාරනායක පුර, කොළොන්නාව - සාලමුල්ල සහ මාළඹේ යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තාවූ අතර, එහිදී මෝදර - මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
කෙසේ වෙතත් අද දින එම මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයින්ගෙන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත වෛද්‍යවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ සඳහන් කළේ.
මේ අතර මියගිය කාන්තාව පදිංචිව සිටි සහ ඇය සමඟ සමීප සබඳතා පැවැත්වූ 15 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.
මීට අමතරව, රාජගිරිය - බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් ආසාදිතයෙකු බවට ඊයේ වාර්තාවූ පුද්ගලයා සමීපව ඇසුරු කළ 29 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතද යොමු කර තිබුණා.
කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ 28 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවයි ඊයේ වාර්තාවුණේ.
ගතවූ දින කිහිපය තුළ පූර්ණ සුවය ලැබූ පිරිස් වැඩි වශයෙන් නිවෙස් වෙත පිටත් කර යැවීමට සෞඛ්‍ය අංශ සමත්වීම විශේෂත්වයක්.
නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ හතරදෙනෙකු ඇතුලූ මේ වනවිට සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 215ක්.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 771ක්.
එමෙන්ම පුද්ගලයින් 547 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර නාවික හමුදාව කොරෝනා මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසනවා.
එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ නිරෝධායනය අවසන් කළ 175 දෙනෙකු හෙට පෙරවරු 6.30ට ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යාමටද නියමිතයි.
Share This Article