අවුරුදු 16 දැරිය දූෂණය කළ නරුමයා, තවත් පිරිමි දරුවෙකු ලවාත් ඇයව අපයෝජනය කරලා
Tuesday, 05 May 2020 - 8:03 | Views - 5,199

වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක් වරින්වර බරපතළ ලෙස අපයෝජනය කර එම අපයෝජන ක්‍රියාවලිය බාල වයස්කාර පිරිමි දරුවකු ලවා ජංගම දුරකථනයකින් වීඩියෝගත කර එම බාලවයස්කාර පිරිමි දරුවාද අදාළ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමට පෙලඹ වූ බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා හතරකට වරදකරු වූ විත්තිකරුවකුට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර 23ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
ඒ අනුව විත්තිකරුට පළමු චෝදනාවට වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 25,000ක වන්දි මුදලක් පැමිණිලිකාර දැරියට ගෙවන ලෙසටද නියෝග කෙරිණි.
එම වන්දි මුදල ගෙවීම පැහැරහරින්නේ නම් තවත් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමකටද විත්තිකරු යටත් කෙරිණි.
2 වන චෝදනාවට මාස 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි. එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 3ක සිරදඬුවමකටද විත්තිකරු යටත් කළේය.
3 වන චෝදනාවට විත්තිකරුට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර ඊට අමතරව රුපියල් 5000ක දඩයක්ද නියම කෙරිණි.
එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමකටද ඔහු යටත් කෙරිණි. 4 වැනි චෝදනාවට වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් විත්තිකරුට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසටද නියෝග කරනු ලැබීය.
එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරු තවත් මාස 6ක සිර දඬුවමකටද යටත් කෙරිණි.
මෙසේ දඬුවම් නියම වූයේ ගල්නෑව රණවිරු ගම්මානය අංක 8 ලිපිනයේ එම් එච්. සුමනසිරි නොහොත් මක්කේ මාමා නමැති විවාහක දෙදරු පියකුටය.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ බාල වයස්කාර දැරියම මීට පෙරද බරපතළ ලෙස වරින් වර අපයෝජනය කළ බවට අධිචෝදනා පහකට මහාධිකරණය හමුවේ වරදකරු වී ඇති මෙම විත්තිකරුට මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසින්ම මීට සති කිහිපයකට පෙර වසර 45ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබීම විශේෂත්වයකි.
2015 වසරේ අගෝස්තු මස 8 වන දින සහ 31 වන දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ගල්නෑවේදී මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.
මේ අතර මෙම විත්තිකරුගේ පෙලඹවීම මත විත්තිකරු බාලවයස්කාර දැරිය අපයෝජනය කරන අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ විත්තිකරුගේ පෙලඹවීම මත අදාළ බාල වයස්කාර දැරිය අපයෝජනය කර ඇති සිද්ධිය වන අවස්ථාවේ බාලවයස්කරුවකුව සිටි මෙම නඩුවේ දෙවැනි විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 25කට අත්හිටුවීමට නියෝග කළේ්ය.
ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද දෙවන විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමකටද යටත් කරනු ලැබීය. තවද මුදලින් 2500ක දඩයක් ගෙවන ලෙසටත් විත්තිකරුට නියෝග කෙරුණු අතර එම දඩමුදල ගෙවීම පැහැරහැරියහොත් ඔහු තවත් මාස 6ක සිර දඬුවමකටද යටත් කෙරිණි. මෙසේ දඬුවම් නියම වූයේ ගල්නෑව රණවිරු ගම්මානය ලිපිනයේ සඳරුවන් ප්‍රසාද් පුණ්‍යසෝම නොහොත් සංජු නමැත්තාටයි.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේ මෙම විත්තිකරු වයස අවුරුදු 16ට අඩු බාල වයස්කරුවකුව සිට ඇති බවයි. පළමු විත්තිකරුගේ සෘජු බලපෑම මත කිසිදු චේතනාවකින් තොරව දෙවන විත්තිකරු මෙම වැරදි සිදු කර ඇති බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා එකී කරුණු සැලකිල්ලට ගෙන මොහුට අවම දඬුවමක් නියම කරන්නැයිද මහාධිකරණ විනිසුරුවරයාගෙන් අයැද සිටියේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. එම්. කේ. සේනානායක මහතා ඇතුළු 9 දෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ. ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අප්පුහාමි මහතාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික නඩු විභාගය කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුණතිලක මහතා සමඟ ගල්නෑව පොලිසියේ නිලධාරීන් පෙනී සිටි අතර පළමු විත්තිකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටි අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙනී සිටියේය.
අනුරාධපුර - ආනන්ද කරුණාදාස
මව්බිම
Share This Article