නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින්, 1031ක් නිරෝධායනයට
Monday, 04 May 2020 - 19:20 | Views - 671

මෙරට තුළ කොරෝනා වෛරසය අසාදිනය වී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන රෝගින් 528 දෙනා අතරින් 328 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
මේ අතර, අද දිනයේදීත් එක් කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ද 719 ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කළ බවයි.
ඔහු රෝහලෙන් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙනවා.
එසේම, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතමයින් 1031 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින බවයි.
අද දිනයේදී බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 122 ක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගිය බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථානවල සිට එය අවසන් කර පිටත්ව ගිය සංඛ්‍යාව 5052 ක්.
මේ අතර, අද දිනයේදී එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි 208 දෙනෙකු යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1636 ක් සිදුකළ බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
මේ අතර, පළමු පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි කුරුණෑගල - පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය මීට දින දෙකකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ බෝ වන රෝග විද්‍යායතනය මගින් හෝමාගම මූලික රෝහල වෙත යොමුකරනු ලැබුවා.
කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂණවලදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ බවයි හෝමාගම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බෝවන රෝග විද්‍යායතනය වෙත රැගෙන ගිය බව ද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
Share This Article