මිය ගිය මහර බන්ධනාගාර රැදවියාටත් කොරෝනා පරීක්ෂාවක්
Sunday, 03 May 2020 - 19:45 | Views - 805

මහර බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී තාප්පයකින් ඇද වැටී මිය ගිය රැදවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර හෙට දිනයේ කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දිනවල සිදුවන හදිසි මරණ සියල්ලෙහිම කොරෝනා පරීක්ෂාව සිදුකිරීමට නිරෝධායන පනත අනුව සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ.
අද අලූයම 3.30ට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 9 දෙනෙකු අඩි 20ක් පමණ උසැති එහි තාප්පයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී එක් අයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්වුණේ කඩවත - ඉහළ කරගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාවින්ද තිසේරා නැමැත්තෙක්.
ඔහු කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට මහර අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මීට දින 12කට පෙරයි.
බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කළ අදාළ රැදවියන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බව බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ සඳහන් කළා.
මත්ද්‍රව්‍ය නොමැති තත්ත්වයක් තුළ ඇති වූ මානසික ව්‍යාකූලතාව හේතුවෙන් මොවුන් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දරා ඇති බවයි ඔහු කියා සිටියේ.
මියගිය රැදවියාගේ මරණය සිදුවූ ස්ථානය අද වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල පැමිණ පරීක්ෂාවට ලක් කළ අතර, දේහය තැන්පත් කර ඇති උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ගොස් මළ සිරුර ද පරීක්ෂාවට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, රැදවියන් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔවුන් වැළැක්වීමට ගත් උත්සාහයේදී අහසට වෙඩි තැබීමක් ද සිදුකර තිබුණා.
එමෙන්ම, රැදවියන් සහ නිලධාරීන් අතර පොර බැදීමක් ද සිදුව ඇති අතර, එහිදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ කියා සිටියේ.
Share This Article