ප්‍රතිශක්තිකරණ එන්නත් හිඟයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කියයි
Sunday, 03 May 2020 - 8:32 | Views - 704

ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තීකරණ එන්නත් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනතුරු එවැනි එන්නත් හිඟයක් රට තුළ නොපවතින බවයි. ඔහු මේ බව සඳහන් කළේ සැපයුම් මාර්ගවල අවහිරතා හේතුවෙන් එන්නත් ප්‍රවාහනය අඩාල වීමෙන් ලොව පුරා කුඩා දරුවන්ගේ ජීවිත අවදානමකට වැටී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් අනතුරු අඟවා ඇති පසුබිමකයි.
මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ අඛණ්ඩව බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම මේ වනවිට මාස එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ මව්වරුන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවයි. එලෙස එන්නත් ප්‍රමාදවීම තුළ දරුවන්ට විවිධ ආසාත්මිකතා ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව ද ඇය පෙන්වා දෙනවා.
දැනටමත් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල අදාළ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස මීට පෙර හඳුනා ගැණුනු පුත්තලම දිස්ත්‍රික්කයේ ද ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සාර්ථකව පසුගියදා සිදුකළ බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ද එලෙසින්ම දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රතිශක්තීකරණ එන්නත් දරුවන්ට ලබාදීම කඩිනමින් ආරම්භ කරන ලෙසයි ඇය සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන අතර, මේ වනතෙක් ප්‍රතිශක්තීකරණ එන්නත් හිඟයක් රට තුළ නොමැති බවයි.
Share This Article