පාර්ලිමේන්තුව කොරෝනා සමයේ රැස්වුවහොත් සබා ගැබේ ඉඩ කඩ ප්‍රශ්නයක්
Sunday, 03 May 2020 - 7:30 | Views - 728

විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ නම් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ක්‍රමවේදයන් අනුගමනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් 225 දෙනාටම එකවර පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීමේ ගැටලුවක් පැන නැගී තිබෙනවා.
පාර්ලිමේන්තුව යළි රැස් කරන ලෙස ඉල්ලා විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මේ දිනවල ප්‍රකාශ සිදුකරමින් පවතිනවා.
ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ඉදිරි කටයුතු සඳහා මුදල් අනුමත කිරීම සහ තවත් කරුණු කිහිපයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් කිරීම වඩා යෝග්‍ය බවයි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව යළි රැස්වීමේදී මන්ත්‍රී ආසන 225 ම සකස් කර ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසුන් ගන්නා ආසන දෙකක් අතර, පරතරය මීටරයකටත් වඩා අඩු වන ලෙසටයි.
ඒවා යළි ගලවා වෙනස් කළ නොහැකි ලෙස සවි කර ඇති බවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
එහෙත්, සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් ලබාදී ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දෙදෙනෙකු අතර පරතරය අවම මීටරයක්වත් වන ලෙස පවත්වා ගත යුතු බවයි.
ඒ අනුව, පාර්ලිමේන්තුව යළි රැස්වුවහොත් මන්ත්‍රීවරුන් බහුතරයකට සභාගර්භය තුළ අසුන්ගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුව රැස්වන්නේ නම් ඊට පෙර හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා මෙම ගැටලුව පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
එහිදී හිටපු මන්ත්‍රීවරුන් සියලුදෙනාටම යළි පාර්ලිමේන්තු සභා වාරයකට සහභාගි වීමට අවශ්‍ය වන්නේ නම්, සෞඛ්‍ය නිර්දේශ මත යම් මන්ත්‍රීවරුන් පිරිසකට කාරක සභා කාමර තුළ සිට පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වන ලෙස අවශ්‍ය පහසුකම් සලසා දීම වැනි වැඩපිළිවෙලක් මෙම අවස්ථාවේදී යෝග්‍ය වන බව ද අදාළ උසස් නිලධාරියා සඳහන් කළා.
එමෙන්ම, පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ නම් අවම වශයෙන් දින 3 ක්වත් රැස්විය යුතු අතර, යම් අණපනත් සම්මත කිරීමකදී, ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එකවර අදාළ මන්ත්‍රීවරුන් සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
එවැනි අවස්ථාවකදී මන්ත්‍රීවරුන්ට තම ආසනය වෙත විටින් විට පැමිණ ඡන්දය ප්‍රකාශ කර ඉවත් විය හැකි බවයි ඔහු කියා සිටියේ.
මෙවැනි ප්‍රායෝගික ගැටලු රැසක් කොරෝනා වෛරස අවදානම පවතිද්දී යළි පාර්ලිමේන්තුව රැස්වන විට පැන නගින අතර ඒවා සියල්ල කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් මත ඇතිවී ඇති ගැටලු වනවා.
එම ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තු බලධාරින් විසින් අවධානය යොමුකර ඇති අතර අවශ්‍ය වුවහොත් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට ද කටයුතු කරනු ඇති බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article