සුවය ලැබූ ජා-ඇල ආසාදිතයෙකුට යළි කොරෝනා වැළදී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි
Saturday, 02 May 2020 - 18:49 | Views - 690

කොරෝනා වෛරසය වැළඳී සුවය ලබා පැමිණි පුද්ගලයෙකු යළිත් වරක් ආසාදිතයෙකු බවට පත්වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ජා-ඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ජා-ඇල - කපාල කන්ද පාරේ පදිංචි 64 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර තිබූ බවයි.
මාසයක කාලයක් එහි ප්‍රතිකාර ලබා ඔහු පසුගිය මස 17 වනදා යළි නිවස වෙත පැමිණ ඇති බව ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.
නිවසට පැමිණීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටි මොහු පසුගිය මස 30 වනදා පපුවේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මෙම පුද්ගලයාට යළිත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ පසුව රෝගියා යළිත් අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකරනු ලැබූ බවයි.
මෙම පුද්ගලයාට මීට පෙර වකුගඩු සැත්කමක් සිදුකර ඇති අතර ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවට අනාවරණ වී ඇතැයි ද ජා-ඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article