ළමයින් අතර ප්රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන, ළමාරක්ෂක අධිකාරියෙන් විමර්ශන
Friday, 01 May 2020 - 13:26 | Views - 1,455

සමාජ මාධ්‍යයේ මේ දිනවල සැරිසරන පාසල් වයසේ කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ මෙම වීඩියෝ සමාජ මාධ්‍යයේ සැරි සැරීම අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බවයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු වීම හේතුවෙන් ඇතැම් දරුවන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීම නිරීක්ෂණය වී ඇති බවයි.
මෙවැනි වීඩියෝපට වෙනත් ළමයින් විසින් අනුකරණය කිරීමේ හැකියාවක් පවතින බව ද එම සංගමය සඳහන් කළා.
අප මේ සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සමාජ මාධ්‍යයේ සැරිසරන මෙම වීඩියෝපට කිසියම් කණ්ඩායමකගේ මැදිහත්වීම මත සිදුකරන්නේ ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි.
මෙම වීඩියෝ දර්ශනවල ඇතුළත් ළමයින් පොළොන්නරුව සහ නිකවැරටිය යන ප්‍රදේශවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළා.
Share This Article