නාවික භටයන්ගෙන් කොරෝනා පැතිරයාම උපරිමව පාලනය කර තිබෙනවා
Friday, 01 May 2020 - 13:25 | Views - 861

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් මගින් කොරෝනා වෛරසය බාහිර ප්‍රදේශවලට පැතිර යාම උපරිමව පාලනය කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ පී.සී.ආර්. පරීක්ෂණය මගින් වෛරසය වැලදී නොමැති බවට අනාවරණ වූ සෙබලුන් පවා වෙනම නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ වැලිසර නාවික හමුදා කදවුරේ සිද්ධිය මර්දනය කිරීමත් සමඟ පොකුරු වශයෙන් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට හැකි වී ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ.
ඊයේ දිනයේ වාර්තා වූ නව කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනාගෙන් 9 දෙනෙකුම වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
තවත් 5 දෙනෙකු ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා රැගෙන ගිය අයයි.
වැලිසර නාවික කදවුරේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අප්‍රේල් 30 දක්වා අවලංගු කිරීමටයි මීට පෙර කටයුතු කරනු ලැබුවේ.
තවදුරටත් පවතින තත්ත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
එමෙන්ම, නිවාඩු ලබා ගැනීම් හරහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඇඳිරි නීතිය සහ නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කරමින් ගිනිගත්හේන - අඹගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් පානය කරමින්, ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලීසි මගින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔට්ටු ක්‍රීඩා සඳහා යොදා ගත් මුදල්, මත්පැන් බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පෞද්ගලික වාහනය ඇතුළු වාහන කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article