ආදරය නිසා සුරූපිණියක් ගණිකාවක් වූ හැටි කියන, හදකම්පා කරවන සංවේදී කතාව
Friday, 01 May 2020 - 11:23 | Views - 2,115

මුළු මහත් ලෝකයටම බලපා ඇති කොරෝනා ව්‍යසනය මුදල් යහමින් ඇති නැති අයටත් දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතය ගැට ගහගන්න යාචකයින්, කම්කරුවන්, කුලී වැඩ කරන්නන් වගේම දිනපතා වැටුපක් ලබන පිරිසටත් මේ අවස්ථාවේ කොරෝනා තර්ජනයට අමතරව ආර්ථිකයත් සමග ගැටෙන්න සිදු වෙලා. ඔය පිරිස අතරේ තවත් විශේෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමන්ගේ රැකියාව නිසා නිරන්තරයෙන්ම ජිවත් වෙන්නේ සමාජයෙන්ම කොන් වෙලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ගණිකාවන්. එලෙසින් පිඩාවට පත් වූ සුරූපී යුවතියක් එක්ක සුහද කතාබහක දුරකථනයෙන් යෙදෙන්න අපට අවස්ථාවක් ලැබුණා.
ඇයටත් මේ මහා පොළොවේ සියල්ල උරුමයි. නමුත් පිරිමින් සමග යහන් ගත වී කීයක් හෝ ගතමනාව සවිකරගන්න නිසා සමාජය ඇය වැනි යුවතියන්ව දකින්නේ වෙනස්ම අයුරකින්.
"මගේ ඇත්ත නම මොකක්ද කියලා මම කියන්නේ නැහැ, මට වත්සලා කියලා කතා කරන්න. මම උගත් කෙනෙක් කියලා කියන්නේ නැහැ. නමුත් මම හොදින් අධ්‍යාපනය හැදෑරුවා. හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ නිසා සමහර වේලාවට මගේ රූපයත් එක්ක කවුරුත් එකපාරටම මම ගණිකාවක් කියලා හිතන්නේ නැහැ..අනික මම හොද පවුලක කෙල්ලෙක් . වයස අවුරුදු 32යි..."
ඒ වත්සලා ඇයව හදුන්වා දුන් අයුරුයි. ඒ වචන අස්සේ දුකක් තියෙනවද සතුටක් තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. වචන දෙක තුනක් කතා කරලා නිහඩව ඉදලා ඇය යළිත් කතාවට මුල පිරුවා.
"මගේ අම්මා වගේම තාත්තා රැකියා කරපු නිසා අපිට ආර්ථික ප්‍රශ්න කවදාවත් තිබ්බේ නැහැ, පවුලේ මමයි මල්ලියි විතරයි..මට හිතෙනවා මාව නැති කළේ, අසරණ කළේ මගේ රූපය කියලා..මගේ වයස අවුරුදු 15 ක් 16ක් තියෙද්දී ඉදලා මගේ පස්සෙන් කොල්ලෝ ආවා..මටත් ගෙදරින් අවධානයක් ආදරයක් තිබ්බේ නැති නිසා ආදරේ ඉල්ලන ඇතැම් පිරිමි ළමයි එක්ක යාළු වුනා..ඒ බැදීම් දැනගෙන හිටියේ මමයි මම යාලු වෙන පිරිමි ළමයා අතර විතරයි.. කාලය ගෙවිලා ගියා මම උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන ගත්තත් වෛද්‍ය පිඨයට යන්න බැරි වුනා.. එක එක කෝස් කරා..ඒ පන්ති යන ගමන් මට තරුණයෙක් මුණගැහුනා..එයත් හරිම ලස්සනයි..එයාට හොදට සල්ලි තිබ්බා..කාර් එකක තමයි එයා ක්ලාස් ආවේ..ටික දවසක් යද්දී අපි දෙන්නා යාලු වුනා..නමුත් අපි කවදාවත් ලිංගිකව එකතු වුනේ නැහැ..මාස දෙක තුනකින් ඒ සම්බන්ධය නතර වුනා..ඒකට හේතුව එයාට පෙම්වතියක් හිටපු නිසයි..එයා මාත් එක්කත් යාලු වුනා..මම එයාව අත ඇරියා කිව්වොත් හරි..එයා මගෙන් පලිගන්න පටන් ගත්තා..එයාගෙම යාළුවෙක්ට මගේ ජංගම දුරකථනය දීලා මිස් කෝල් එකක් ආවා වගේ කොල්ලෙක් කතා කළා..මමත් හිටියේ දුකෙන් මම ඒ කොල්ලා එක්ක යාලු වුණා..ඒ කොල්ලා හරියට රස්තියාදු කාරයෙක් වගේ...බයික් එකක් තිබ්බා..මාත් එක්ක එක එක තැන්වල රස්තියාදු ගැහුවා..එහෙමම මම ඉගෙන ගන්න එක නතර කළා.. මේ දේවල් ගෙදරට ආරංචි වෙලා මාව ගෙදරට හිර කළා..ඒ කොල්ලගෙත් සද්දයක් නැතුව ගියා.. ඊට පස්සේ තමයි මගේ ජිවිතේ කණපිට පෙරලෙන්න ගත්තේ.."
ඇය දිග කතාවක් කියා කතාව අතරමග නතර කර දිග සුසුමක් පිට කර "තව මොනවද දැනගන්න ඕන.." යනුවෙන් ඇසුවා. තවත් කිසිවක් ප්‍රශ්න නොකර ඇයට දිගටම කතා කරගෙන යන ලෙස කියද්දී " ඒ තරම්ම මගේ කතාව රසද කියා ඇසුවා. මමත් සිනාසී නිහඩ වූ නිසා ඇය නතර කළ තැනින් යළිත් කතාව පටන් ගත්තා.
"මට ගෙදර ඉන්න කම්මැලියි..තාත්තගේ යාළුවෙක් අපේ ගෙදර ආවා..යාළුවෙක් කිව්වට තාත්තට වඩා අවුරුදු 15ක් විතර බාලයි..එයා තාත්තට හොරෙන් මට එයාගේ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒ වෙද්දී මම කොල්ලෝ හය හත්දෙනෙක් එක්ක යාලු වෙලා තිබ්බේ..මෙයා එක්ක කතා කරන එක ඒ නිසා මට ලැජ්ජාවක් වුනේ නැහැ..සති දෙක තුනක් යද්දී අපි හොදටම යාලු වෙලා..අන්තිමට ගෙදර කවුරුත් නැති දවසක එයා ඇවිත් මාව එක්කගෙන ගියා..මාව බදිනවා කියලා.. ඒකට අපේ ගෙදරින් අකමැති වෙයි කියලා තමයි එක්කගෙන ගියේ හොරෙන් බදිමු කියලා..එයාගේ ගෙදර එයා හැර කවුරුත් හිටියේ නැහැ..තට්ටු දෙකේ ගෙයක්..කාර් එකකුත් තිබ්බා.. ඒවා එයාගේ කියලා කිව්වේ..අපේ ගෙදරින් හොයන්න පටන් ගත්තා..මෙයා අපේ ගෙදර ගිය නිසා එයා ගැන සැක කරේ නැහැ..සතියක් විතර යද්දී අම්මා තාත්තා මම ගැන හොයන එක නතර කරලා මම මැරුණා කියලා හිත හදාගන්නවා කියලා මම යාළු වුන කෙනාටම කියලා තිබ්බා.. ඒ නිසා මමත් නිදහසේ එයත් එක්ක උපරිම සතුටින් ජිවත් වුනා..බැදලා නොහිටියත් අපි ලිංගිකව හැසිරුනා..ඒ විදිහට සතියයි ගෙවුනේ..ගෙදර ලොකු ගේට්ටු තිබ්බේ..එලියට යද්දී එයා එළියෙන් වගේම ඇතුලෙන් ඉබ්බෝ දාලා වහලා යන්නේ.."
ඇයගේ මොහොතක නිහැඩියාව බිදිමින් "එහෙම කරන්න මොකක්ද හේතුව .." යැයි මම විමසුවේ කුතුහලයක් ඇති වූ නිසයි.
"එතකොට පිටින් එන අය හිතන්නේ ගෙදර කවුරුත් නැහැ කියලා..එහෙම කරන්න ලොකු හේතුවක් තිබ්බා..මම කිව්වනේ මගේ සතුට තිබ්බේ සතියයි කියලා..එයා ලොකු ලොකු සල්ලිකාරයෝ ගේ ඇතුලට ගෙනාවා.. කොල්ලෝ..නාකි මිනිස්සු..ඒ අතර ඉතින් ජනප්‍රිය කිහිප දෙනෙක් ආවා ගියා..ඒ විතරක් නෙමෙයි..හවස හය වෙද්දී තව කෙල්ලෝ පස් දෙනෙකුත් එනවා..කොටින්ම කිව්වොත් ඒක ගණිකා මඩමක්..මට හරි පුදුමයි මේ මනුස්සයා මේ දේවල් කරන්නේ කියලා මගේ තත්තා දැනගෙන හිටියේ නැද්ද කියලා..දැනගෙන හිටියා නම් එයා කවදාවත් මේ වගේ මනුස්සයෙක් යාලුවෙක් විදිහට තියාගන්නේ නැහැ..ඒ තරම්ම මගේ තාත්තා වැදගත් විදිහට ජිවත් වුනේ..ගෙදර ඉබ්බා දාලා තිබ්බේ පොලිසියෙන් අල්ලයි කියලයි..උදෙන්ම වැඩට යනවා වගේ අර කෙල්ලෝ ටික යනවා.. හරියට බෝඩිමක ඉන්නවා වගේ තමයි ඒ අවට මිනිස්සු හිතන්න ඇත්තේ..ගෙදර තිබ්බෙත් ටිකක් හුදෙකලාව..ඒ අවට තිබ්බ ගෙවල් ඔක්කොම ලොකු ලොකු සල්ලි තිබ්බ මිනිස්සු..අවට වෙන්නේ මොනවාද කියලා බලන්න නැතුව ඇති.."
"සතියකට පස්සේ ලස්සන කොල්ලෙක් ආවා මම හිතුවේ මාව බදින්න ඉන්න කෙනාගේ යාලුවෙක් කියලා..ගේ ඇතුලට ඇවිත් මාව හදුන්වා දුන්නට පස්සේ ඒ කොල්ලා මාවත් බදා ගත්තා..අනවශ්‍ය විදිහට මගේ ඇග අතගානවා කියලා තේරුණා..මම එයාව තල්ලු කරද්දී එයා තවත් හයියෙන් බදා ගත්තා..ඒ වෙලාවේ මාව බදිනවා කිව්ව මනුස්සයා මම එයාට රංග කියන්නම් කෝ එයා උඩ තට්ටුවට ගියා..මම ඒ කොල්ලට ගහලා කාමරේට දුවලා ගියා..අර දෙන්නා ඇවිත් කෑගැහුවා..මම දොර ඇරලා ඇහුවා මොනාද කරන්න යන්නේ කියලා..ඒ මනුස්සයා එක්ක නිදා ගන්න කිව්වා..අදින් පස්සේ මිනිස්සු එක්ක නිදාගෙන සල්ලි හොයන එක තමයි මගේ රස්සාව කිව්වා..එහෙම කරොත් මාව බදින්නම් කියලා රංග කිව්වා..මම රඟට කිව්වා අද විතරක් මට නිදහසේ ඉන්න දෙන්න කියලා..නමුත් එයා දොර තල්ලු කරලා අර කොල්ලව කාමරේට දාලා දොර ලොක් කරලා ගියා..ඒ කොල්ලට වැදලා කිව්වා මාව අත අරින්න කියලා..ඒ කොල්ලා මට නාගෙන එන්න කිව්වා මට මොකුත් කරන්නේ නැහැ කියලා..ටවල් එක ඇදගෙන ආපු මාව නිරුවත් කරලා ඒ දිහා බලාගෙන ඒ මනුස්සයා එයාගේ දුක මට කිව්වා..
මටත් ඒ මනුස්සයාගේ කතාව ඇහුවම දුක හිතුනා..එදා හිත හදාගෙන ඒ මනුස්සයා එක්ක පැය හතරක් විතර කාමරේ හිටියා..එයා රංගට සල්ලි දීලා සතියකට දවස් තුන හතරක් මාත් එක්ක ඉදලා යනවා..මට ආදරේ පෙන්නපු රංග අන්තිමට මාව ගණිකාවක් කළා..එතන මට තමයි හොදම ඉල්ලුම තිබ්බේ...මම කවදාවත් ඒ වගේ කරුමක්කාර ජිවිතයක් බලාපොරොත්තු වුනේ නැහැ...නමුත් නානාවිද මිනිස්සු එක්ක මට නිදාගන්න වුනා..ඒ මිනිස්සුන්ව සතුටු කරන්න සිද්ද වුනා..සමහර මිනිස්සු සයිකෝ..මරාගෙන කන්න හදනවා..බ්ලූ වල ඉන්න ගැණු කරන දේවල් කරන්න ඕන..සමහර මිනිස්සු නිරුවත දිහා බලාගෙන ඉදලා සල්ලි දීලා යනවා..එන ගොඩක් අය මට වෙනම සල්ලි දුන්නා..මම ඒවා එකතු කරගත්තා රංගට හොරෙන්..රංග මට සතියකට 20,000ක් දුන්නා මාස තුනක් යනකල්..ඊට පස්සේ මට මාසෙකට ලක්ෂ 2ක් දුන්නා..එයා මට බැංකු ගිණුමක් ඇරලා ඒකට සල්ලි දාලා පොත අප්ඩේට් කරලම ගෙනත් දුන්නා..
ඒ සල්ලි දකිද්දී මම හිතුවා මම මගේ ජිවිතේ හදා ගන්නවා කියලා..දැන් මම අවුරුදු 10ක් තිස්සේ ගණිකාවක් විදිහට ජිවත් වෙනවා..කෑම බිම ඇදුම් පැළදුම් වලින් කිසිම අඩුවක් නැහැ..මටම කියලා දැන් වාහනයක් තියෙනවා..මමයි රංගයි එකම ගෙදර ජිවත් වෙන්නේ..අවුරුදු පහකට කලින් එයා මාව බැන්දා..නමුත් අපි අතර තියෙන්නේ කෘතීම බැදීමක්..කතාබහ කරලා එක වහලක් යට ජිවත් වෙනවා..අපිට දැන් ලස්සන දුවක් ඉන්නවා..මට දුව ඉපදෙන්න ඉද්දිත් මට මිනිස්සු එක්ක නිදා ගන්න වුනා..දරුවා ලැබිලා වේදනාව යන්නත් කලින්ම මට ආයෙමත් මිනිස්සු එක්ක නිදා ගන්න වුනා ..ඒ මොහොතේ නම් මට රංග ගැන ඇති වුනේ දුකක්..දැන් මම ජිවත් වෙන්නේ මගේ දුව නිසා..කොල්ලෙක්ට රැවටිලා මම අන්තිමට ගණිකාවක් බවට පත් වුණේ මගෙන් පළි ගන්නද එහෙම නැත්තම් සමාජයෙන් පළිගන්නද කියලා මට හිතාගන්න බැහැ..සමහර කස්ටමස්ලා ගෙදර ගියාට පස්සේ මට නිරුවත් ෆොටෝ එවන්න කියනවා..මමත් යවනවා..
ඒ කස්ටමස් තුන්දෙනෙක්ගෙ වයිෆ් ලා අන්තිමට මට කතා කරලා පවුල් කඩන්නේ නැතුව ඉන්නවා කියලා බැනලත් තියෙනවා..ඒ නිසාම මම රංගගෙන් අනන්ත අප්‍රමාණව ගුටි කාලා තියෙනවා...දවසක් ඒ ගැහැණු කෙනෙක් කස්ටම කෙනෙක් වගේ වෙන පිරිමියෙක් දම්මලා ඉන්න තැනට ආවා..ඒ පිරිමි මනුස්සයා රංගට සල්ලි දීලා මාව ඉල්ලුවේ..මම ඒ මනුස්සයා එක්ක කාමරේට ගිහිල්ලා ඇදුම් ගලවන්න යද්දී ඒ මනුස්සයා කිව්වා මටත් ඔයා වගේ නංගි කෙනෙක් ඉන්නවා මම ආවේ ඔයා එක්ක කතා කරන්න මිසක් කාම සැප හොයාගෙන නෙමෙයි ආවේ කියලා..මම හොදටම බය වුනා..ඒ මනුස්සයා කිව්වා මට වහ වටිලාලු එයාගේ නංගිගේ මහත්තයා මම ලගට එන්නේ.. එයාගේ නම විස්තර කියලා මේ කතාව ඉවර කරන්න කිව්වා ඉල්ලන ඕන ගානක් දෙන්නම් කියලා..නැත්තනම් පොලිසියට යනවා කිව්වා..මම පොරොන්දු වුනා මම ඒ කඩන්නේ නැහැ කියලා..ඒ ප්‍රශ්නේ විසදා ගත්තේ රංග ගෙන් සෑහෙනට ගුටි කාලා..ඒ වගේ එක එක ප්‍රශ්න ආවා..පස් හය පාරක් පොලිස් ගිහින් කුඩුවල ලැගලත් තියෙනවා.."
ඇයගේ වයසට වඩා මුහුකුරා ගිය කතාබහ නිහඩව අසාගෙන සිටි මට ඇයගෙන් මෙසේ අසන්නට හිතුනා
"ඔය රස්සාව නිසා සමාජයෙන් අපහාස විදලා නැද්ද.."
"ඕන තරම් නින්දා අපහාස විදලා තියෙනවා..ඒ තත්වයට මාව ඇදලා දැම්මේ මගේ ආදරයක්ම තමයි.."
"ඒ කිව්වේ.."
"මම කලින් කිව්වා නේද රස්තියාදු පෙම්වතෙක් ගැන.."
"ඔව්.."
"එයා තමයි රංගට කෙල්ලෝ සපයලා තියෙන්නේ..ඒ සම්බන්දෙ නතර වුනාම මගෙන් පලිගන්න හොදම විදිහ ඒක කියලා එයා හිතුවා..එයා දැනගෙන හිටියා රංග අපේ ගෙදරට එනවා කියලා..මම ගැන කියලා තියෙන්නේ එයා..හොදට සල්ලිත් අරගෙන.."
"දැන් එයා කෝ.."
"එයත් විවාහ වෙලා.."
"ඔයා කොහොමද දන්නේ එයාගේ වැඩක් මේක කියලා.."
"රංගම තමයි මට කිව්වේ.."
"දැන් ආදරේ ගැන මොකද හිතෙන්නේ.."
"වෛරයක් නැහැ..ආදරයක් ගැන හිතන්නේ නැහැ..දැන් සමාජය වෙනස්..ගණිකාවෝ වෙලා තියෙන්නේ කෙල්ලෝ එක එක හේතු නිසා..සල්ලිවලට කෑදර කමේ තමන්ගේ බිරිද, පෙම්වතිය, දියණිය විකුණන මිනිස්සු ඉන්නවා.."
"ඔයාටත් ඉන්නේ දියණියක්..එයාට අත්වෙන ඉරණම..කවදා හරි දැනගත්තොත් ඔයා ගණිකාවක් කියලා.."
"මට දැන් හොදට සල්ලි තියෙනවා..දුව එක්ක වෙන රටකට යන්න තමයි ප්ලෑන් කරන්නේ..ඒකට මට උදව් කරන්නෙත් මගේ ලගට ආපු කස්ටමර් කෙනෙක්..ලංකාවෙන් ගියාට පස්සේ මට ප්‍රශ්නයක් නැහැ..දරුවාව හදාගන්න පුළුවන්.."
"රංගන දැනගත්තොත්..මම හිතනවා එයාට දැන් මගෙන් වැඩක් නැහැ කියලා..ඒ ගැන එයා එක්ක කතා කරලා නැහැ.."
"මුලින්ම පොලිසියට අහුවෙද්දී මොකද හිතුනේ.."
"ලොකු දුකක් ඇති වුනා..එදා තමයි මට මුලින්ම ලැජ්ජාව කියන දේ ඇති වුනේ..මගේ දෙමාපියන් මම ගැන දැනගත්තා..එයාලට ගෙදර ඉන්න බැරුව දුර ගමකට ගිහින් ජිවත් වෙනවා.."
"ඔයා ගණිකාවක් කියලා මිනිස්සු දන්නවද.."
"පොලිසියේදී අපිට තියෙන්නේ අන්තිම පහත්ම සැලකීමක්. අන්තිම කැත විදියට තමයි අපිට සලකන්නේ. උසාවියට ගියාම එතැනදී ඒ ගොල්ලෝ කෑ ගහල කියනවා නඩුකාරයට මෙයා 'ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා' කියල. එතන පන්සීයක් සෙනග හිටියොත් ඒ ඔක්කොම මගේ දිහා බලනවා. ඊට පස්සේ පාරේ ගිහිල්ල ඉවරයි...පන්සලකට යන්නෙත් බයෙන්. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්.."
ඇය දෙස වපර ඇසින් බලන සමාජය දෙස ඇය බලන්නේ මේ අයුරින් බව ඇයගේ කතාබහෙන් තේරෙනවා.
"පන්සලකට යන්නෙත් බයෙන්. කෝවිලකට ගියත් අන්න අර ගෑනි කෝවිලට ඇවිල්ල කියනවා. දෙයියෝ ගාව නෙවෙයි ඇස් තියෙන්නේ. අපි දෙයියොද? අපි දිහා ඇස් දෙක තියෙන්නේ. එහෙම බලන්න එපා. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්." ඇය ඔහේ කියවගෙන ගියා.
"අපි ලගට ප්‍රසිද්ධ මිනිස්සු එනවා..එතකොට එයාලා සුදනොද.."
ඉහළ පෙළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් පවා තම සේවය ලබා ගන්නා බව ඇය හෙළිදරව් කළා.
"කොහොමද මේ දවස්වල මාස දෙකකට කිට්ටුයි ඇදිරි නිතිය දාලා..සේවාවන් පවත්වාගෙන යන්න බැහැනේ.."
"ඔව්..අපිට පාඩුයි..නමුත් සල්ලිවලින් අඩුවක් නැහැ..ඇදිරි නිතිය දාන්න කලින් ගෙදරට අවශ්‍ය බඩු ගත්ත නිසා බඩගින්නේ ඉන්න වුනේ නැහැ..නමුත් විදි ගණිකාවෝ ඉන්නවා.. දවස්දෙක තුනක් රස්සාව කරේ නැත්තනම් සල්ලි නැහැ.. කන්න බොන්න නැහැ..එහෙම කොච්චර මිනිස්සු ඉන්නවද.."
"ඇදිරි නිතිය ක්‍රියාත්මක වුවත් අත්‍යවශ්‍ය ආහාර ගෙන වාහන එනවා නේද.."
"අප්පෝ අපි එලියට බහින්නවත් නැහැ..එක දවසක් එහෙම ගන්න ගිහින් ගණිකාවක් මේ කෙල්ල කියලා එහා පැත්තේ ගෙදර ගැණු කෙනා අර මිනිස්සුන්ට කිව්වා..ඒ වචන දැන් මට හුරුයි..ඒ නිසා මේ ජිවිතේට හුරු වෙලා.."
"වත්සලාගේ වයස තවම අවුරුදු 32යි..ඉදිරියට මොනාද කරන්නේ.."
"මම ලබන අවුරුද්ද වෙද්දී පිටරට යන්න තමයි ඉන්නේ..ඒ වැඩේ හරි යයි..මගේ දුවටත් මම වගේම් හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්.. ඒ නිසා අපිට වෙන රටක ගිහින් ජිවත් වෙන්න භාෂාව ප්‍රශ්නයක් නැහැ..රංග අවොත් එයත් එක්ක යනවා..මොන වුනත් එයා දරුවාගේ තාත්තා.."
ඇයව ගණිකාවක් කළ නරුමයාට තවමත් අනුකම්පා කරන වත්සලා එසේ කියා දිග සුසුමක් හෙලා නිහඩ වුනා.
"ඔයා කිහිප දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුණු නිසා ඒ දරුවා වෙන කෙනෙක්ගේ කියලා රංග භාර ගන්න බැහැ කිව්වේ නැද්ද.."
නිහඩතාවය අස්සේ මම එසේ ප්‍රශ්න කළා.
"නැහැ..එයා මට ආදරෙයිද කියලත් මට හිතෙනවා අනේ මන්දා..දරුවා ලැබුනට පස්සේ නම් එයා ගොඩක් සතුටු වුනා..මේ කෙල්ල මගේ ලේ නේ කියලා මාව මුල්ම වතාවට ආදරෙන් තුරුළු කරගත්තා මට අද වගේ මතකයි..දුවට ආදරෙයි..නමුත් මේ නරාවලට මගේ දරුවා දාන්න මට බැහැ..මම නිසා මගේ අම්මා තාත්තා දුක් විදින හැටි මම දැකලා තියෙනවා..අදටත් ඒ අය මගේ මුණ බලන්නේ නැහැ..දුව නිසා මට ගෙදරින් සමාව ලැබුනේ..මම ඉක්මනටම මෙහෙන් යනවා..මගේ දුවත් එක්ක..මිනිස්සුන්ට වරදිනවා..නමුත් ජීවිතේම වරද්දා ගන්න බැහැ..ඉගෙන ගන්න වයසේ ඉගෙන ගන්න ඕන ..කොල්ලෝ පස්සේ ගිහින් උන්ව විස්වාස කරලා ජිවිතේ වරද්දා ගන්න එපා කියලා මම හැම යුවතියක්ගෙන්ම ඉල්ලනවා.."
ඇය සමග දිගු කතාබහකට පසුව ඇයට සමු දුන්නේ වැරදුනු ජිවිතේ හදාගෙන ආදර්ශමත් මවක් ලෙස ජිවිතේ ගෙවන්න වාසනාව හිමි වේවා ප්‍රාර්ථනාවත් සමගයි.
හර්ෂණී වීරරත්න
Share This Article