පොලිස් ඇපමත මුදාහැරියත්, ඇඳිරි නීති කඩකළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර
Friday, 01 May 2020 - 8:23 | Views - 695

කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ වහාම ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ නිරෝධායන පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇති බවයි.
එලෙස නඩු පවරා වරදකරුවන් වන පුද්ගලයන් මාස හයක සිරදඬුවමකට සහ රුපියල් දෙදහසත්, දස දහසත් අතර දඩයකටද යටත් කළ හැකියි.
අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇති අවස්ථාවක එම සැකකරුවන් වරදකරුවන් බවට අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් රජයේ රැකියාවක නියුතු අයෙක් නම් එම රැකියාව පවා අහිමි වීමට ඉඩ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හමුවේ පැන වූ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවන් තුළ පසුගිය මාර්තු 20 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 42,526 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,029 ක්.
මේ අතර, පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනටමත් අදාළ පොලිස් ස්ථාන මගින් පොලිස් ඇප ලබාදී මුදාහැර තිබෙනවා.
එසේම, ඊයේ රාත්‍රි අටේ සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර, එය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.
Share This Article