"මමත් ඛාන් කෙනෙක්, ඒත් කොහෙද ඔයාට වගේ පිළිගැනීමක් " - ශාරුක් ඛාන් හොල්මන් කරමින් ඉර්ෆාන් ඛාන් කියු කතාව - Photos
Thursday, 30 April 2020 - 18:32 | Views - 1,922
 ඔයාලගේ ෆිල්ම් බුෆේ වගේ, අපේ ෆිල්ම් නිකන් ලන්ච් බොක්ස් එකක් වගේ, එහෙමද ? හිතා ඉන්නේ, යන්න දෙනවා මට, මමත් ඛාන් කෙනෙක්, ඒත් ඔයාලා විතරද ඛාන්ලා, අපේ ෆිල්ම්, ෆිල්ම් නෙමෙයිද ? ඔයාලගේ ෆිල්ම් විතරද ෆිල්ම් ? අපේ ජීවිතෙත් ෆිල්ම් තමා, අපිත් එදා ඉදන් මහන්සි වුණේ ඒකට තමා, හැබැයි අපිට ස්ටේජ් එකකට කතා කළොත්, නිකම්ම , " වෙල්කම් ඉර්ෆාන් ඛාන් "  හැබැයි ඔයාට ඔයාට කොහොමද ?  තියෙන තරම් ලයිට් දාලා, පලස දාලා, මියුසික් දාලා, ඛාන්ලගෙත් ඛාන්, පිළිගන්න මේ කින්ග් ඛාන්, ශාරුක් ඛාන් කියල තමයි පිළිගන්නේ "
 

මේ කතාවට එතන හිටපු අමිතාබ්, ශාරුක්, සල්මාන්, අනිල්, සෝනම්, මධුරි වගේම සියළුම නළු නිළියන් මෙන්ම ඒක බලපු මමත්, බැළුව නම් ඔබත් පුදුම වන්නට තිබුණි. නමුත් තවත් සුළු මොහොතකදී ඔහුගේ විහිළු කීපයකින් පස්සේ ශොක් වුණ සේරම තේරුම් ගන්නවා මේ ඇත්තක් නෙමෙයි, මේකත් තව එක රගපෑමක් කියලා. මේ ගැන මෙහෙම කියන්නේ, ඒ විශිෂ්ඨයා අවසන් ගමන් ගිය නිසයි.

ඇත්තටම ඔහු විශිෂ්ඨයෙක්. ඉන්දීය රංගනයේ අති විශිෂඨ නළුවන් දසදෙන ගතහොත් මගේ ලිස්ට් එකේ ඔහුත් ඉන්නවා. ඇත්තටම ඔහුගේ කතාවේ ඇත්තකුත් තියෙනවා. ඔවුන් වැනි රංගනයේ සුවිශේෂී දක්ෂයන්ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය රංගන ශිල්පියාගේ ස්ටාර් පවර් එකේ නමට යට වෙනවා. එහිදී ඔහු කෙතරම් ගොබ්බ ( එහෙම කිව්වට මුකුත් හිතන්න එපා ) සිනමා නිර්මාණයක රගපෑවත් ස්ටාර් පවර් එක මත ඔහු තමයි ජනප්‍රිය. එවන් පසුබිමකදී , ඉර්ෆාන් වැන්නන්ගේ , තාත්ත්වික සුවිශේෂී දක්ෂයින්ට අඩු වන්නේ ස්ටාර් පවර් එක පමණයි. ඒත් අද අපේ මේ සිනමා පිටු වල පමණක් ඔහු ගැන ලියවුණ හැටියට අප රට තුල ඔහු කෙතරම් රසික හදවත් දිනා තිබුණාදැයි අපට බලන්න පුළුවන්.
 
එහෙව් මේ අසහාය හින්දි නළු ඉර්ෆාන් ඛාන් අද යන්නම ගිහින්. අවුරුදු 53 ක් වයස ඔහු රෝහල්ගතව බඩවැල් සම්බන්ධයෙන් ( Colitis ) ප්‍රතිකාර කරන විටයි මෙලෙස අප අතරින් වෙන් වෙලා යන්නේ. මෙය කාලයක් පුරා බඩවැලේ කෙමෙන් කෙමෙන් වර්ධනය වන රෝගී තත්වයක්. ඔහු තමන්ට දුර්ලභ ඝනයේ රෝගී තත්ත්වයක් ඇතැයි 2018 වසරේදී අනාවරණය කළේය. එය හෝමෝන නිපදවෙන සෛල ආශ්‍රිතව ගෙඩියක් නිසා ඇති වූ තත්වයක් බවත් ඔහු පවසා තිබුනි.පසුව ඔහු ඒ වෙනුවෙන් ලන්ඩන් නුවර රෝහලකින් ප්‍රතිකාර ලබා ගත්තේය. ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධ කිරීමෙන් මාස දෙකකට පමණ පසු ඔහු " පිළිකා ප්‍රතිකාර සහ ජීවිතයේ අනිත්‍යබව " පිළිබඳව සිය අත්දැකීම් ඇතුළත් විවෘත ලිපියක් ලිව්වේය. එම ලිපිය නිසාවෙන් ඔහුට ලොව පුරා සිටින රසිකයින්ගේ සහයෝගය අඩු නොමැතිව ලැබුණි. එලෙස සියල්ලන්ගේ සිත් දිනා ගත් මේ අද්වතීය සුපිරි නලුවා ඔහුගේ ජීවන වේදිකාවෙන් බැස ගොස් හමාරය. මේ පෙරළන්නේ ඔහුගේ ජීවන කතාවයි.
 
සහාබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපත ලබන්නේ 1967 ජනවාරි 7 වැනිදා ඉන්දියාවේ රාජස්ථාන් හි ජායිපූර්හිදීය. ඔහු දරුවන් තුන් දෙනෙකුගෙන් යුතු පවුලක පළමුවැන්නාය. ටයර් ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහුගේ පියා හා මව එතරම් වත්පොහොසත්කම් තිබුණු අය නොවේ. පුංචි කාලයේ ඉර්ෆාන්ගේ හීනය වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමය. ඒත් අගහිඟකම් නිසාවෙන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය මඟ නවතිනවා. ඔහුගේ පියාට අවශ්‍ය වන්නේ සිය වැඩිමල් පුත්‍රයා වූ ඉර්ෆාන් පවුලේ ව්‍යාපාරය කරනවා දකින්නයි. ඒත් ඔහු ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්න අතරෙ ඉන්දියාවේ " National School of Drama " වෙත ඇතුලත් වන්නට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. සිය පියාගේ අභාවයෙන් පසුව, එනම් 1984 දී , නවදිල්ලියේ වූ " National School of Drama " වෙත පැමිණ ඉර්ෆාන් රංගනය හැදෑරීම ආරම්භ කරනවා. ඔහුගේ ජීවිතයට නොසිතූ මග්ක් විවර වන්නේ , මේ ශිෂ්‍යත්වය නිසාවෙනුයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට සිහින මවපු ඔහුට නළුවෙකු වීමට මේ ගමනින් මඟ විවර වෙනවා. කිසිම ගමනක ආරම්භය හිතන තරම් ලේසි නොවන බව ඔහුගේ කතාව තුලදී ඔබට වැටහේවි. නළුවෙකු වීම ඉන්දියාවේදී ලේසියෙන් සාක්ශාත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන් පසුව ඔහු මුම්බායට පැමිණෙනවා. ඉර්ෆාන් මුම්බායි ජීවිතය අරඹන්නේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු විදිහටයි.
 
මේ ආකාරයෙන් ජීවිතය අරඹන ඔහුට කල් ගතවන විට රූපවාහිනී ටෙලි නාටකවලට සිය රංගන දායකත්වය ලබා දෙන්නට අවස්ථාව උදා වෙනවා. එයින් පසුව චිත්‍රපට රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ 1988දීය. ඒ ඔස්කා සම්මානවලට නිර්දේශ වුණු මීරා නායිර්ගේ " සලාම් බොම්බේ " චිත්‍රපටය තුලයි. ඒත් සිනමා නිර්මාණයෙර් අවසන් සංස්කරණයේදී ඔහුගේ දර්ශනය කපා දමා තිබෙනවා. ඔහු රඟපෑ නිර්මාණ පසුව දිගින් දිගට ම අසාර්ථක වෙනවා. මේ නිසා මේ කාල වකවානුව තුලදී රංගනය අත්හැර දාන්නට පවා සිතුණු බව ඔහු පසුව පවසා තිබුණා. නාට්‍ය පාසලේදී ඔහුගේ හැකියාවන් හඳුනාගත් නමුත් " සලාම් බොම්බේ " චිත්‍රපටයෙන් ඔහු ඉවත් කළ මීරා නායර් සමග ඔහු සබඳතා පැවත්වනවා. ඔවුන් දෙදෙනා එක්ව 2006 දී , " නේම්සේක් " ( The Namesake ) සහ 2010 දී , " අයි ලව් යූ " සහ " නිව් යෝක් " යන චිත්‍රපට නිර්මාණය කරන්නේය. ඔහු හට ප්‍රධාන චරිතයකට පණ පොවන්නට ලැබෙන්නේ , අසීෆ් කපාඩියාගේ " ද වොරියර් " ( The Warrior ) චිත්‍රපටයෙනි. ඔහු ජාත්‍යන්තර අවධානයට ලක් කරන්නට එම බ්‍රිතාන්‍ය - ඉන්දීය සිනමා නිර්මාණයට හැකි විය. එය බැෆ්ටා සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණයකි. එම සිනමා නිර්මාණය ඇකඩමි සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍යය නියෝජනය කිරීමට නිර්දේශ වුව ද, හින්දි භාෂාව බ්‍රිතාන්‍යයේ දේශීය භාෂාවක් නොවූ හෙයින් එම අවස්ථාව ඔහුට අහිමි වන්නේය. ඒ 2001 වර්ෂයේදීය. මෙය ජාත්‍යන්තර සිනමා උළෙලවලට පවා නිර්දේශ වීමෙන් පසු ඔහුගේ සිනමා දිවියේ , ගමන් මග සුභ දිශාවකට යොමු වෙනවා. පළමු වරට බොලිවුඩ් සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය ඔහුට ලැබෙන්නේ 2005 දී , තිරගත වන " රොග් " සිනමා නිර්මාණයෙනි. එයින් පසු ලැබෙන චරිත හරහා දිගට ම ප්‍රේක්ෂක සහ විචාරක පැසසුමට මෙන්ම , සම්මානවලට පාත්‍ර වෙන්නත් ඉර්ෆාන්ට අවස්ථාව උදා වනවා.
 
ඉන් අනතුරව මක්බූල් (2003) , හාසිල් (2003) , ද කිලර් (2006) , අ මයිටි හාර්ට් , මෙට්‍රෝ (2007) , හිස් (2010) , තැන්ක් යූ (2011) , ද ලන්ච්බොක්ස් (2013) , හේඩර් (2014) , ගුන්ඩේ (2014) , පිකු (2015) , පෑන් සින්ග් තෝමර් , ටල්වාර් (2015) , හින්දි මීඩියම් (2017) , කැර්වෑන් (2018) , බ්ලැක්මේල් (2018) , ඇන්ග්‍රීසි මීඩියම් (2020) මේ කාලය පුරා ඔහු රඟපෑ සිනමා නිර්මාණ අතරින් කීපයක්. මේ අතරින් ලන්ච්බොක්ස් ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. ඉර්ෆාන් ඛාන් ලෝව පුරා ම වඩාත් ප්‍රකට වුණේ " ලෝක සිනමාව තුල්ස් ඉන්දීය මුහුණ " නියෝජනය කල නිසාවෙන්මය. ඔහු රඟපෑ ලෝක ප්‍රකට සිනමා නිර්මාණ , ඔහුව ලෝව ප්‍රසිද්ධ නළුවෙකු බවට පත් කලේය. ද නේම්සේක් (2006) , ස්ලම්ඩෝග් මිලියනයර් (2008) , නිව්යෝක් අයි ලව් යූ (2009) , ද අමේසිං ස්පයිඩර් මෑන් (2012) , ලයිෆ් ඔෆ් පයි (2012), ජුරාසික් වර්ල්ඩ් (2015) , ඉන්ෆර්නෝ (2016) , පස්ල් (2018) ඉන් කිහිපයක්. මේ අතර ඔහු හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නොලන්ගේ " ඉන්ටර්ස්ටෙලර් " චිත්‍රපටයේ ඔහුට ලැබුණු චරිතය ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකට කරුණක්. එවගේම ඉර්ෆාන් ඛාන් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම චිත්‍රපට අධ්‍යක්ෂ වෙස් ඇන්ඩර්සන් ඔහු වෙනුවෙන් සුළු චරිතයක් ඔහුගේ "ද ඩාර්ජිලිං ලිමිටඩ් ( The Darjeeling Limited ) " සිනමා නිර්මාණය තුල ඇති කළේය. " අ මයිටි හාර්ට්' ( A Mighty Heart ) " සිනමා නිර්මාණයේ පාකිස්තාන පොලිස් කපිතාන්වරයාගේ චරිතය සඳහා එහි අධ්‍යක්ෂක මයිකල් වින්ටර්බොටම් ඉර්ෆාන් තෝරාගත්තේය. ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයෙකුව සිට කොල්ලකරුවෙකු බවට පත් වූ ඉන්දියාවේ මලල ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද " Paan Singh Tomar " නමැති සිනමා නිර්මාණය තුල ඔහු රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් 2013 වසරේදී ඔහුට ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය හිමි වන්නේය. ඔහු වසරකට චිත්‍රපට පහකට හෝ හයකට පමණ දායක විය. ඔහුගේ අවසන් සිනමා නිර්මාණය වූ " ඇන්ග්‍රේසි මීඩියම් " තිරගත වූයේ පසුගිය මාසයේදීය. එය කොරෝනා තත්වය නිසා සිනමාශාලා වසන තුරු තිරගත විය. ඒ වගේම ඔස්කා සම්මානයට පාත්‍ර වුණු සිනමා නිර්මාණ දෙකක රඟපෑ එක ම බොලිවුඩ් නළුවා වන්නේ ඔහුයි. " ස්ලම්ඩෝග් මිලියනයර් " සහ " ලයිෆ් ඔෆ් පයි " එම සිනමා නිර්මාණයි.
 
වරක ඔහු කියනවා , " ජුරාසික් පාක් චිත්‍රපටය බලන්න ටිකට් එකක් ගන්න සල්ලි නැතිව හිටිය මම , අද එම සිනමා නිර්මාණ මාලාවේම නළුවෙක් බව " ඔහු එලෙස පවසන්නේ " ජුරාසික් වර්ල්ඩ් ( Jurassic World ) " සිනමා නිර්මාණයට දායක වීම සමගය. 1995 පෙබරවාරි 23 දා ඉර්ෆාන් විවාහ වනවා. ඒ Sutapa Sikdar සමගය. ඉර්ෆාන්ට විවාහයෙන් පුතුන් දෙදෙනෙකු සිටිනවා. ඔහු ආදරණීය පියෙක්. ලා දුඹූරු ඇස් දෙකක් හිමි මේ ප්‍රතිභාපූර්ණ නළුවා බොලිවුඩයේ නළුවන් අතර වැඩි ම උසකින් (6’ 1’’) යුතු අයෙකු ලෙස ඉර්ෆාන් ප්‍රකටය. ඔහු තුල පැවති සූක්ෂම භාවමය රංගනය පිළිබඳව නිසි අගැයීමක් සිදු නොවුණ ද , තරු ගුණයට වඩා ප්‍රතිභාපූර්ණ නළු ගුණය අතින් ඉහළින් සිටි ඔහු ඉන්දියාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් අතරින් කෙනෙකු බව නැවත මතක් කල යුතු නැත. රංගන හැකියාව අතින් ඔහුගේ රංගනයට සම කරන්නට ජනප්‍රියයි කියනා බොහෝ ජනප්‍රිය ප්‍රමුඛ නළු නිළියන්ට වත් හැකි නොවිණි. කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ විශිෂ්ඨ කාර්‍යභාරය උදෙසා 2011 වර්ෂයේදී , ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබන්නට ඉර්ෆාන් ඛාන් හට හැකි වෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය. ඔහුගේ මේ අවාසනාවන්‍ත අභාවය සැලවීම සමග ඔහුගේ සහෘද කලා ශිල්පීන් මෙන්ම දේශපාලනඥයින් ද ඔහු වෙනුවෙන් ඔවුන්ගේ සංවේගය සමාජ මාධ්‍යය ඔස්සේ පළ කර තිබුණි. හින්දි සිනමාවට පමණක් නෙමෙයි සමස්ථ සිනමා ලෝකයටම වටිනා රංගනවේදියෙකුගේ නික්ම යෑම එලෙස සනිටුහන් විය.
 
ආදරණීය ඉර්ෆාන් සර් , මම ඔබේ රසිකයෙකි. මේ ලොව පුරාවට ඔබට සිටිනා රසිකයන් ගණන මට ගණනය කල නොහැක. ඔබේ මුහුණෙන් පළවන ඒ අපූරු හැගීම මුසු වූ රංගන හැකියාව පිළිබදව මට විස්තර කරන්නට වචන මදිය. ඔබේ ඒ සුන්දර සිනාව ඇදුණ මුහුණ ඔබේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත. ඔබ හට තිබුණේ ඇදහිය නොහැකි දක්ෂතාවයකි. එයට නියම සිනමාවක් රස විදිනා ඕනෑම අයෙකු සාක්ෂි දරණු ඇත. ඔබ සිනමාවට ඇති කලේ එසේ මෙසේ රික්තකයක් නම් නොවේ. ඔබේ වියෝවෙන් ඇතිවූ ඒ හිඩැස පුරවන්න තවත් සෑහෙන කාලයක් යාවි , සමහරවිට ඒ හිඩැස කවදාවත් පුරවන්න ලැබෙන එකක් නැහැ. ඒ කෙසේ වුවත් ඔබ ඔබේ අවුරුදු 53 ක ජීවිත කාලය තුල සිනමාව වෙනුවෙන් කල සේවය අසමසමයි. එය බොලිවුඩයේ සිට හොලිවුඩය දක්වාම පැතිරුණ තරමේ දක්ෂතාවක්. කෙසේ වෙතත් මේ අවුරුද්ද අපිට අහිමි කල දේ , බොහොමයි. තවමත් ඒ අහිමි වීම සිදුවන අතරතුරයි අප සිටින්නේ. එලෙස ඔබේ මේ නික්ම යාමත් මේ අවුරුද්ද තුල සිනමාලෝකයට මෙන්ම සිනමාලෝලීන්ටත් ඇති කලේ මහා හිඩැසක්. කෙසේ වෙතත් යන්නට වූ විට ඔබට නොව අප කවරෙකුට උවද යන්නට වන්වා නිසැකය , සිදු වූයේ ඔබ අපට වඩා ඉස්සර වීම පමණි. එසේ නම් මේ ලගා වන්නේ ඔබට සුභ ගමන් කීමටය. ඊට පෙර ඔබට ඔබේ ආගමානුකූලව ලැබිය යුතු , පතන්නාවූ සාමදානය හිමි වේවා . . .!!! විශිෂ්ට නළුවෙක් සහ සුන්දර මිනිසෙක් වූ ඔබේ ඔය අපුරු සිනහව රැදි රැව අප හදවත් තුල සැමදා ජීවමානව පවතී.
ඔබට සුභ ගමන් . . . !!!
 
ජායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි . . .
සටහන : ප්‍රමෝද් සදරුවන් ගමගේ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top