සිය සැමියා වූ පුෂ්පකුමාරව අවසන් ගමන් යැවූ බිරිඳ, පොලිසියට කියූ ඇඟ කිළිපොලා යන කතාව
Wednesday, 29 April 2020 - 21:06 | Views - 1,021

ඒ පසුගිය 20 වැනි දිනයි. දිස්ත්‍රික්ක පහකට හැර අනෙක් දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය දිවා කාලය සඳහා ලිහිල් කළ දිනයයි.
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා එදින 'බාර්' විවෘත කළ අතර මාසයක් පමණ මත්වතුර නොමැතිව සිටි බොහෝ බේබද්දන් එදින උදෙන්ම බාර් පෝලිමට එක්වූයේ ගෙදර අඩුපාඩු ගැනද නොතකමිනුයි.
කාලේ බෝතල් මිලදී ගත් සමහරු බාර් එක අසළ වූ පාලු ස්ථානවලට ගොස් එක හුස්මට එය ගිල දැමීමේ කතරක තනිවී බොහෝ කාලයක් දිය පොදක් වත් නොමැතිව සිට වතුර බෝතලයක් ලැබුණා වැනි හදිසියකිනුයි.
මාතලේ පොලිස් වසමේ ඇටමුරුංගා ගොඩ, යටියාවල පදිංචි ඉන්දික පුෂ්පකුමාර ද එදින උදෙන්ම කුලී වැඩක් සොයාගෙන ගියේ කලකින් හරි හැටි අඩියක් ගසන්නට නොලැබුණු නිසා හවසට 'බාර්' එකට ගොස් හොඳහැටි සප්පායම් වීමට සිතාගෙනයි.
උදේ වරුවේ කුලී වැඩ කොට ලැබුණූ මුදල රැගෙන මොහු කෙළින්ම ගියේ බාර් එකටයි. ගෙවී ගිය මාසයක පමණ කාලයක් කුසට හරියට ආහාරක් හෝ නොමැතිව කල් ගෙවු දරුවන්ට අදවත් කුස පිරෙන්නට කෑම යමක් පිළියෙල කරන්නට හැකි වේ යැයි ඔහුගේ බිරිය බලාපොරොත්තුවෙන් සිටියත්, එය ඉශ්ඨ නොවේය යන අනුමානය ද ඇගේ සිතේ නොතිබුණාම නොවේ. මන්ද වසර 11ක් තිස්සේ සැමියාගේ ක්‍රියා කලාපය ගැන ඇය හොඳ හැටි දැන සිටියා.
ඇයගේ නිගමනය නිවැරදි වුණා. සවස තුනට පමණ ආසන්න වෙද්දි වැනි වැනී එන සැමියා දුටු ඇයට වැඩි දුර යමක් සිතන්නට අවැසි වූයේ නැහැ. මත් වතුරින් හොඳ හැටි මත් වී නිවස වෙත ආ සැමියා සුපුරුදු පරිදි සිය නාටකය ආරම්භ කළේ වැඩට යන විට රැගෙන ගිය මල් කපන පිහියද අත තබාගෙනයි.
මොහුට බිරිය සමඟ ආරවුල් ඇති කර ගන්නට හේතුවක් වුවමනා වූයේ නැහැ.
මත්වතුර තොල ගෑමෙන් අනතුරුව ඒවායේ රසය තවත් වැඩි වන්නට බිරියට හොඳ හැටි පහර දුන් සැමියා අත තිබූ මල් කපන පිහිය ද මිදුලට දමා ඇඳට වැටී නිදන්නට වුණා.
මොවුන් පදිංචි නිවෙස ඉදි කර තිබුණේ බිරියගේ මහගෙදර ඉඩමේ යි. බිරියගේ මව්පියන්ට අයත් ඉඩමේ කොටසක ඉදිකළ වර්ග අඩි 150ක් පමණ වූ එකම කොටස මොවුන්ගේ නිවහන වුණා. ආහාර පිසීම, නිදා ගැනීම සිදු කෙරුණේ මේ කුඩා ඉඩ ප්‍රමාණයේ යි.
මේ දෙදෙනොට දරුවන් දෙදෙනෙකු සිටියා. දෙදෙනාම දියණියන්. පියාගේ මේ ක්‍රියා කලාපය නිසා දැඩිව අසරණ වන දරුවන් සිටියේ මිත්තිණියගේ නිවසේ යි.
එදින සවස් වරුවේද දරුවන් දෙදෙනා මවගේ මහගෙදර ගොස් සිටි අතර මවත් පියාත් අතර ඇති වූ ගැටුම ගැන ඔවුන්ට වැටහීමක් නොතිබෙන්නට ඇති.
පියා පැමිණ ටික වෙලාවකට පසුව දරුවන්ව නිවසට අඬ ගසා ගන්නා ඇය ඔවුන් දෙදෙනා ද සමඟ කටුගස්තොට පොලිසියට එන්නේ දැඩි වෙහෙසකාරී සහ කලකිරුණු ස්වභාවකයකිනුයි.
විනාඩි කිහිපයක් ගිමන් හැරිය ඈ පැමිණි කාරණය පැමිණිලි භාරගන්නා නිලධාරියා ඉදිරියේ පැහැදිලි කරන්නට පටන් ගත්තා.
ඇය කියන දෙයින් තුෂ්නිම්භූත වූ නිලධාරියා ඇයවත් දරු දෙදෙනාත් ස්ථානාධිපතිවරයා වෙත යොමු කළා.
"සර්.. මම මල් කපන පිහියෙන් මිනිහගේ බෙල්ල කපලා පොරවෙන් ඔලුවටත් ගැහුවා. ගෙදර ඇඳ උඩ තුවාල වෙලා ඉන්නවා.."
ඇයගේ විස්තරය අනුව ඇගේ සැමියා තුවාල ලබා නිවසේ සිටිනවා. එබැවින් ඔහු සිටින තැනට ගිලන් රථයක් පිටත් කර යැවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළා.
ඉන් අනතුරුව සැකකාරිය ද සමඟ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද රැගෙන ඇගේ නිවස බලා පිටත් වුණා.
පොලිසිය යන විටත් තුවාලකරු මහනුවර රෝහලට ගෙන ගොස් තිබුණා. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවත්, ඔහුගේ උගුරු දණ්ඩ කැපී ගොස් තිබූ බවත් වෛද්‍යවරු සඳහන් කළා.
පිහියකින් ගෙළ කපා පොරවේ රවුම් පැත්තෙන් හිසට පහර දී පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ආරම්භ කළ පොලිසියට සැකකරු සෙවීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ ඇය ඒ වනවිටත් සියල්ල හෙළි කර තිබු නිසායි.
ප්‍රශ්න කිරීමේදී ඇය කීවේ වසර එකොළහක් තිස්සේ වින්ද වේදනා, දුක් ගැහැට තව දුරටත් උසුලාගත නොහැකි තැන තම සැමියා ඝාතනය කළ බවයි.
එදිනත් එක පිට එක එල්ලවූ පහරවල්වලින් සිරුර පුපුරා යද්දි ඇය උහුලා ගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති තැනයි. ඔහු නින්දට ගිය පසු ඇය කෙළින්ම මිදුලට ගොස් විසිකර තිබුණු මල් පිහිය අතට ගත්තා.
"ඒ පිහිය අහුලගෙන ඇවිත් මම ඒකෙන් මිනිහගේ බෙල්ල කැපුවා. ඒත් මිනිහට පන තිබුණොත් නැගිටලා ඇවිත් මාව මරයි කියලා මට බය හිතුණා. ඒ නිසා මම පොරවෙනුත් ඔලුවට ගැහුවා.."
විමර්ශන අනුව මීට වසර 11කට පමණ පෙරදී ඇය ඔහු හා විවාහ වන්නේ යෝජනාවකට අනුවයි. විවාහ වූ මුල් දින කිහිපය ඇය යම් සතුටකින් සිටින්නට ඇති. කාලයත් සමඟ තමන් වැටුණු අමාරුව ඇයට තේරෙන්නට ඇති.
ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ පසුගිය විසිවන දිනයි. ඇය ඔහුව මරා දමන්නට තීරණය කරන්නේ තවදුරටත් මේ කරදර ඉවසා ගත නොහැකි නිසයි.
සැමියාගේ ගෙල කැපූ පිහිය පොලිසිය විසින් සොයා ගත් අතර හිසට පහර දුන් පොරොව ද පොලිසිය සිය භාරයට ගත්තා.
බේබදු මිනිසෙකුගේ නොමිනිස් ක්‍රියාව හේතුවෙන් වය අවුරුදු 11ක හා අවුරුදු 2ක් වූ දියණියන් දෙදෙනාගේ පියා මෙන්ම රැකවරණයද අහිමි ව ගියා.
ඔහු වලපල්ලේ ය. ඇය සපිරි ගෙදර ය. දරු දෙදෙනාට යන කල දසාව කෙසේ විය හැකි ද ?
-තක්ෂිලා ජයසේකර
Share This Article