මට මේ දවස් කීපය හරියට අවුරුදු තුන්සීයක් වගේ දැනෙනවා - කොරෝනා නිසා ජීවිතයම Lockdown කරගත්, බෙත් පාමර්ගේ හද කම්පා කරවන කතාව
උපතත් විපතත් අපේ ඉරණමේ ලියවෙන්නේ අපට අවශ්‍ය ආකාරයට නොවෙයි. එහෙත් ඇතැමුන් විපත තමන්ට උවමනා අයුරින් ලියාගැනීමට පෙළඹෙයි.
ලොව වාසනාවන්තම දරු පවුල දියණිවරුන් දෙදෙනෙකුගේ යුතු පාමර්ගේ පවුල් සංස්ථාව බව මීට කලකට පෙර කළ සමීක්ෂණයකින් හෙළි වී තිබුණා.
එය කෙතරම් සත්‍ය පුවතක්ද ?
බෙත් ඉපැදුණු පාමර් පවුල බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර යමක් කමක් ඇති පවුලක්. ඇතැම් යුරෝපීය කුඩුම්බයන්හි සාමාජීකයින්ට පවා එකිනෙකා මුණ ගැසීමට ඉඩක් නොලැබෙන නමුත්, බෙත්ගේ පවුල එසේ වූයේ නැහැ.
නිතර එකිනෙකා ගැන සොයා බැලීම, කතා කිරීම පාමර් පවුලේ සිරිතයි. බෙත්ගේ පියා මයික් සැබෑ විහිළුකාරයෙක්. පවුලේ සිව් දෙනා එක්වන මොහොතේ නිවසේ රස සාගරයක් මැවීමෙන් මයික් ලැබුවේ පුදුම සතුටක්. ඔහු මැන්චෙස්ටර් ගුවන් තොටුපළේ ගිනි නිවන නිලධාරියෙකු ලෙස සේවය කළා.
දියණියන් දෙදෙනාම මාපියන්ට නෙත් දෙක හා සමාන වුවත් පවුලේ බඩපිස්සිය බෙත්ගේ සුරතල් සිනා හා කතා නිවසට කැන්දා ගෙන ආවේ අමුතුම සිරියාවක්.
මොනතරම් රාජකාරි තිබුණත් දවසේ කිසියම් වෙලාවක් පවුලේ කතාබහට වෙන් කිරීමට පාමර් පවුලේ සාමාජිකයින් අමතක කළේ නැහැ. රජ කුමරියක නොවුණද බෝනික්කන්, ගවුම් පොඩි, පත පොත ආදි කිසි දේකින් ඇයට අඩුවක් වුයේ නැහැ.
ඉල්ලන්නේ කුමක්ද ඇයට ඒ දේ ලැබුණා. බෙත් ඉල්ලුවේද ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක්ම පමණයි.
පවුලේ සෑම දෙනාම සුන්දර සිහින මැව්වා. අත්ලාන්තික සයුර බෝට්ටු මඟින් තරණය කිරීම මයික් මැවූ සිහිනය වුණා. පියා ඒ සිහිනට සැබෑ කරගැනීමට යද්දි බෙත්ට වයස අවුරුදු අටක් වුණා.
ඒ හරියටම 2011 වැලන්ටයින් දිනයයි. බිරිය හෙලන්ට හා දියණියන් දෙදෙනාට එදින අයි. ටී. වී. නාලිකාව හරහා මයික් පුදුම කරවන පණිවුඩයක් එවා තිබුණා. එදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වු කාන්තාවට කුඩා බෙත් පුන පුනා කියා සිටියේ ''තමන් පියා ගැන ආඩම්බර වෙන බවත් ඔහු නොමැතිව ගෙවෙන දිනයක් පවා පුදුම පාළුවක් ගෙන දෙන'' බවයි.
දවසට දෙකට බෙත් උස් මහත් වුණා. බෙත්, මව හෙලන්ගේ අනුරුවක් හා රුවින් සමාන වුණා. උපතින්ම මිහිරි හඬක් හිමි ඇය ගී ගායනයටත් කැමැත්තක් දැක්වූවා.
මයික්ගෙන් හෙලන්ගෙන් මෙන්ම සොයුරියන්ගෙන් ද හිත මිතුරියන්ගෙන්ද මේ පුංචි කෝකිලාවිය දිරිමත් වුණා. නිවසේ පාසලේ පමණක් නොව මැන්චෙස්ටර් ප්‍රසංග වේදිකාවට ද ඇය නැතුවම බැරි තාරකාවක් වුණා.
ඇය ඉගැනුම ලැබුවේ ඇක්සෙස් ක්රියෝටිව් කොලිජීයේ යි. බෙත් සිහින රැසක් දුටුවා. දක්ෂ ගායිකාවක් වන්නට ඇයට අවැසි වුණා.
ටොනේඩෝවකටවත් වැඩි අධික වේගයකින් පැමිණි හෙණ පහරකටත් වඩා දරුණු ලෙස බලපෑ කොරෝනා වසංගතය සමඟ බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරත් වසා දැමුණා.
මිතුරියන් සමඟ කෙළිදොළින් සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවූ බෙත්ට නගරය වසා දැමුණු දින කිහිපය දැණුනේ වසර තුන්සීයක් ලෙසයි.
ඒ ඇයගේ ජීවිතයේ අවසාන දිනයයි. එදින උදෑසන වෙනදා බෙත්ගේ කාමරයෙන් ඇසෙන ගී නද නැසෙන විට හෙලන් හා මයික් සිතුවේ දියණිය තවමත් නිදි දෙව්දුව සමඟ කල් හරින බවයි. සුසුමකින් හෝ ඒ නින්දට බාධා කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැහැ.
එහෙත් කිසිදාක නැති තරම් නැගිටීමට පමා වන විට උපන් සැකය නිසා ඔවුන් ඇයගේ කාමරයේ දොර විවර කළා. එවිට ඔවුන්ට දකින්නට ලැබුණේ බෙත් සිය සයනය මත වැතිර සිටින අයුරුයි. වෙනදා නිබඳවම මුව මත සිනහවක් රඳවාගෙන සිටින දියණිය අද මුකුලිත මලක් මෙන් වැතිර සිටියා. මයික් හා හෙලන් බලන විටත් ඇය මියගොස් සිටියා.
ඒ කොරේනා වෛරසය ශරීරගත වීමෙන් නොව ඒ වෛරසය නිසා ඇති වූ සමාජ දුරස්ථභාවය නිසායි. මේ නිසා ඇති වූ මානසික ව්‍යාකූලතාවය නිසා ඇය සිය දිවි නසාගෙන තිබුණා.
නගරය වසා දැමීම 17 හැවිරිදි නව යෞවනියට දැණූනේ ජීවිතයට වසා දැමීමත් විලසිනුයි. මේ තත්ත්වය යළි කිසි දින වෙනස් නොවනු ඇතැයි මේ ගැටවර කෙල්ලට සිතෙන්නට ඇති.
"තාත්තා මට මේ දවස් කීපය හරියට අවුරුදු තුන්සීයක් වගේ දැනෙනවා.."
සියල්ලන් විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කරන විට බෙත් උදාසීනව පැවසුවා මයික්ට මතකයි. ඒ හැර ඇයගේ වෙනත් අංශූමාත්රයකුදු වෙනසක් දක්නට තිබුණේ නැහැ. පොපියන නව යෞවනය ගලා හැළෙන දිය ඇල්ලක් මෙන් දඟකාරයි. දින කිහිපයක තබා මොහොතකට වුව නිසොල්මන් වීමක් ගැන ඔවුන්ට සිතිය නොහැකි වුණා. ඇය දිවියෙන් සමුගන්නට ඇත්තේද ඒ නිසායි.
පාමර් පවුලට තවමත් බෙත්ගේ දඟකම් මැවී පෙනෙයි. අනාගත ගායිකාවක, රංගන වේදිනියක ලොවට අහිමි වුණා. දියණිගේ වියෝවෙන් කම්පනයට පත්ව සිටින මයික් හා හෙලන් එක්වී නව යෞවන යෞවනියන්ගේ මානසික ගැටලු විසඳීමට සමාජ සත්කාර අරමුදලක් ද පිහිටුවා තිබෙනවා.
මැන්චෙස්ටර් වසා දැමුවේ නැත්තම් දියණිය තවමත් ජීවතුන් අතර බව පාමර් පවුල දැඩි ලෙස විශ්වාස කරනවා.
ඇගේ මිතුර මිතුරියන් සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරියගේ වියෝව බෙදා ගනිමින් සිටිනවා.
ඒ අතර බෙත් අවසන් වරට ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක් කළ ගීතයට ලක්ෂයකට ආසන්න මනාප මේ වන විටත් ලැබී තිබෙනවා.
-චම්පිකා දීපානි රණසිංහ
