දාබරේ මාවතේ සහ හැටේ වත්තේ 134 ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට
Tuesday, 28 April 2020 - 19:30 | Views - 1,541

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණු නාරාහේන්පිට - දාබරේ මාවතේ සහ කොළඹ 07 - ටොරින්ටන් - හැටේ වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 134 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව, පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.හැව්ලොක් ලේන් ප්‍රදේශයෙන්ද එක් ආසාදිතයෙකු හඳුනාගැනුනු අතර, ඔහු සමඟ සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි කියා සිටියේ.මෙම ප්‍රදේශවලින් ඊයේ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 04 ක්.කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කළ් දාබරේ මාවතෙන් හමුවූ ආසාදිතයන් දෙදෙනා මීට පෙර එම ප්‍රදේශයෙන් වාර්තාවූ රෝගියෙකුගේ අසල්වැසි කාන්තාවක සහ එම නිවසට නිතර පැමිණි කුඩා දරුවෙකු බවයි.ටොරින්ටන් හැටේ වත්තෙන් වාර්තාවී ඇති ආසාදිතයා මීට පෙර කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ සැරිසරා මෙම ප්‍රදේශයට පැමිණ සැඟව සිටි පුද්ගලයෙකුගේ අසල්වැසියෙක්.එසේම හැව්ලොක් ලේන් ප්‍රදේශයෙන් රෝගය ආසාදිත බවට වාර්තාවී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ කම්කරුවෙකුට වන අතර, ඔහු බණ්ඩාරනායක මාවතේ පදිංචි රෝගය ආසාදනය වූ ලොරි රථ රියදුරෙකු වන කම්කරුවෙකු සමඟ සේවය කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි වැඩිදුරටත් සඳහන් කළේ.මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නවීකරණය කරන ලද දැඩි සත්කාර ඒකකය සහ නව අනුකජීව රසායනාගාරය විවෘත කිරීම අද (28) සිදු කෙරුණා.ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නවීකරණ කටයුතු සිදුකර ඇති අතර, නව අනුක ජීව රසායනාගාරය හරහා පී.සී.ආර්. පරීක්ෂණ, ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළදීම සිදුකිරීමට පහසුකම් සැළසෙනවා.කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් ගැවසීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් කහවත්ත - ගොඩකවෙල - රිදීවිට ප්‍රදේශයේ නිවාස පහක පුද්ගලයන් සහ වවුනියාව - මහකච්චකොඩිය ප්‍රදේශයේ 9 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා.මේ අතර කොරෝනා මර්දන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වුණා.වෛරසය පැතිර යාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා ගතයුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුව රැස්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඒ හිරු ටී වී ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට අද (28) එක්වෙමින්.එසේම මෙරට කොරෝනා රෝගය පිළිබඳ සියලූ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් මේ වනවිට හඳුන්වාදී තිබෙනවා.ඒ අනුව covid19.gov.lk යන වෙබ් අඩවියේ, ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මගින් ලැබෙන තොරතුරු අන්තර්ගතයි.මේ අතර ඉන්දියාවේ සිර වී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1172 දරණ විශේෂ ගුවන් යානය සිසුන් රැගෙන අද දහවල් 12.40ට පමණ ගුවන් තොටුපළට ළඟා වූ බවයි. එමෙන්ම කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවේ අතරමංව සිටි පාකිස්තාන ජාතිකයන් 50 දෙනෙකු නැවතත් සිය රට බලා යැවීමට පියවර ගත් බව කොළඹ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඒ, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම සහ සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැළසීම සම්බන්ධයෙන් සළකා බැලීමට රජයට පහසුවීම සඳහායි.ඒ අනුව මැයි මස 03 වනදාට හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔන්ලයින් මාර්ගයෙන් පෞද්ගලික ආයතනවලට ඊට අදාළ තොරතුරු ලබාදිය හැකි බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article