රාත්‍රී අටේ සිට යළි ඇඳිරි නීතිය - නීතීඥ සංගමයත් වැඩබලන පොලිස්පතිට ලියයි
Tuesday, 28 April 2020 - 19:15 | Views - 2,532

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (28) අලුයම පහට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද (28) රාත්‍රී 8ට යළි පැනවීමට නියමිතයි.
මැයි 01 වන සිකුරාදා දක්වා එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලුයම පහ දක්වා පමණයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 4 වන සඳුදා අලූයම 5 දක්වා අඛන්ඩව ක්‍රියාත්මකයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මේ දක්වා පුද්ගලයින් 41,079 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 10,591 ක්. අද පෙරවරු හයේ සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, වාහන 31 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව සිය දෛනික අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
එමෙන්ම නඩු කටයුතු සඳහා පෙනී සිටීමේදී සේවාදායකයින් හමුවීම සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය කිරීමට සිදුවන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් පවතින නීතිමය රාමුව යටතේ සළසා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිවසේ සිට අධිකරණයට යාමට සහ නැවත නිවසට පැමිණීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.
Share This Article