කොරෝනා ආසාදිතයින් හමුවූ නාරාහේන්පිට - දාබරේ මාවත, ටොරින්ටන් - හැටේ වත්ත සහ හැව්ලොක් ලේන් හුදෙකලා කෙරේ
කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නාරාහේන්පිට - දාබරේ මාවත, කොළඹ 07 - ටොරින්ටන් - හැටේ වත්ත සහ හැව්ලොක් ලේන් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි කියා සිටියේ මෙම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
නාරාහේන්පිට - දාබරේ මාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, මීට පෙර ද එම මාවතෙන් එක් කොරෝනා රෝගියෙකු වාර්තා වී තිබූ බවයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
මේ වන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 588 දෙනෙකු හමුවී තිබෙනවා.
ඊයේ දිනයේදී රෝගීන් 65 දෙනෙකු වාර්තා වූ අතර, එම සංඛ්‍යාව මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් අනතුරුව හමුවූ වැඩිම රෝගීන් ප්‍රමාණයයි.
ඉන් 44 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ පුද්ගලයන් 189 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහනට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ නාවික හමුදා නිලධාරීන් අතර පැතිර යන වෛරස් තත්ත්වය මැඬලීමට කඩිනමින් කටයුතු කරන බවයි.
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 18 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසනවා.
එමෙන්ම, මොණරාගල - වෙලේ වත්ත ප්‍රදේශයෙන් ද නිවාඩු පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 455 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
සුව වී නිවෙස් වෙත ගිය රෝගීන් සංඛ්‍යාව 126ක් වන අතර, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට දී මිය ගිය ගණන 7ක්.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1400 කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.
එසේම, කොවිඞ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් අද නිකුත් කළා.
එහි දැක්වෙන්නේ අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.
දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ, පෙනීමේ දුර්වලතා, වලිප්පුව, පපුවේ හෝ උදරයේ වේදනාව, ශරීරයේ ඉදිමීම් හෝ වෙනත් තදබල අපසුතාවයන් එලෙස රෝහල් ගත විය යුතු රෝග තත්ත්වයන් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
එමෙන්ම, ගැබිණි මව්වරුන් කලින් වේලාවක් වෙන් කර සායනවලට සහභාගි විය යුතු බවයි ඔහු සිය නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ.
මේ වන විට කෙරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා. ඔහු කියා සිටියේ වෛරසය සම්බන්ධයෙන් ජනතාව මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.