ඔක්ස්ෆර්ඩ් එන්නත වෙළඳපොලට එන ලකුණු
Monday, 27 April 2020 - 13:03 | Views - 5,117

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව මේ වනවිට සායනික අත්හදාබැලීම් සිදුකරන එන්නත සාර්ථක වුවහොත් ලබන ඔක්තෝම්බර් මාසයේදී එම එන්නත වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන ඉන්දියාවේ පූනේ හි පිහිටි සේරම් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
පෝලියෝ, පිටගැස්ම, රුබෙල්ලා, සරම්ප ඇතුලු රෝග රැසකට අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවා ගෝලීයව අලෙවිකරන සේරම් ආයතනය ඉන්දියාවේ ප්රමඛතම ජෛව තාක්ෂණ සමාගමයි.
එම සමාගම කොරෝනා වෛරසයට අදාළ එන්නත නිපදවීම සඳහා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ගෝලීය ආයතන හතෙන් එකක් වනවා.
සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම ඔක්ස්ෆර්ඞ් සරසවිය සමඟ සමීපව කටයුතු කරන අතර, සායනික අත්හදාබැලීම් සාර්ථක වුවහොත් මසකට මිලියන 10 ක එන්නත් ප්‍රමාණයක් නිපදවීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම එම සායනික අත්හදාබැලීම් සාර්ථක වුවහොත් එය ඉදිරි සති දෙක තුන තුළ, අවශ්‍ය නියාමන අනුමැතිය සහිතව ඉන්දියාවේ අත්හදාබැලීමට සැළසුම් කර ඇති අතර, ඒ සඳහා දැනටමත් ප්‍රමාණවත් මාත්‍රා පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29 ලක්ෂ 95,152 දක්වා වැඩිවී තිබෙනවා. මරණ සංඛ්‍යාවද දෙලක්ෂ 70,008ක් ලෙසයි දැක්වෙන්නේ.
තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව නවලක්ෂ අසූහත් දහස් තුන්සිය විසි දෙකක්.
ලොව වැඩිම මරණ සංඛ්‍යාව වන 55,415 ක් වාර්තාවන්නේ ද ඇමරිකාවෙන්.
මේ අතර ඉන්දියාවේ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 881ක්.
එමෙන්ම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස සමය ආරම්භවීමත් සමඟ ඊට අදාළ චාරිත්‍රවල නිරතවන්නේ කොරෝනා අවදානමද නොතකමින්.
සෞදි අරාබියේ මක්කම ශුද්ධ නගරයේද පැය 24 පුරා ඇඳිරි නීතිය පනවා ඇත්තේ එරටින් කොරෝනා ආසාදිතයන් 17,422 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
කෙසේ වෙතත් මක්කම තරාවී විශේෂ යාඤාව සිදුකිරීමට සෞදියේ සල්මාන් රජු අවසර ලබාදී ඇති බව අරාබි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ නිර්නායක මත සිටිමින්.
Share This Article