කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත වූ පුද්ගලයින් 63 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමෙන් පසුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, තවත් 396 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 120ක්.
ඊයේ දිනයේ වාර්තා වූයේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.
නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසු දැනට කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති තණමල්විල - සෙවනගල - දහතුනාමාර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු කරගත් බව සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
ඊට අමතරව මෙම සෙබලාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරියගේ අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවාටද මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා.
බිරිඳ විසින් තණමල්විල නගරයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අතර, පසුගිය 21 වනදා එම ආයතනයෙන් සේවා ලබාගැනීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවයි සෙවණගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
මෙම තත්ත්වය මත නෙළුම්සිරිගම, සමගිපුර, කිරිඉබ්බන්වැව සහ උඩමව්ආර ගම්මානවල පුද්ගලයින් 2,500 කට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි ඔවුන් දැනුම්දී ඇත්තේ.
ඊට අමතරව තණමල්විල ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාවටද ස්වයං නිරෝධානය වන ලෙස දැනුම්දී තිබෙනවා.
මේ අතර, වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන කොළඹ - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් මේ වන විට පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල ප්‍රකාශ කළා.
මෙතෙක් බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 97ක්.