Hair Saloon සේරම වහලා, කොණ්ඩේ සුදු වෙච්ච සුද්දියන්ට එළි බහින්න බැරිලු - Lockdown අස්සෙ එංගලන්තේ සිද්ධ වෙන අරුම පුදුම දේවල්
Sunday, 26 April 2020 - 14:49 | Views - 933
මේ ලිපිය කියවන ඔබෙන් මා පුංචි ප්‍රශ්නයක් අහන්නට කැමැත්තෙමි. ඔබේ ජංගම දුරකථනයේ ඇති කැලැන්ඩරය දෙස නොබලා අද දවස සදුදා ද සෙනසුරාදා ද කියා ඔබට එකවරටම කිව හැකි ද?
 
ඔබට පමණක් නොව බ්‍රිතාන්‍යයේ Lock Down වී ඇති අපටත් දැන් දවස විතරක් නොව මාසයද මතක නැත. සති පහ හයක් නිවෙසේ ගුළි වී සිටින මෙහි බොහෝදෙනා නැඟිටින්නේ් උදේ 11ට නැතිනම් 12ටය.

මෙහි ඇති වාසිය දවසේ පැය ගණනක් ඇඟට නොදැනී ගත කිරීමට හැකි වීම පමණක් නොව උදේටත් දවල්ටත් දෙකටම එක වේලකින් පිරිමසා ගැනීමට පුළුවන් වීමය.
 
බ්‍රිතාන්‍යයේ අපට ඇඳිරි නීතියක් නැත. ව්‍යායාමයකට එළියට යෑමටත් අත්‍යවශ්‍ය ආහාර ගැනීමට Supermarket එකට ඕන වාරයක් යෑමටත් අපට පුළුවන්කම ඇත. නමුත් සුමාන පහක ලොක් ඩවුන් (Lock Down) එකකින් පසු මෙහි බොහෝදෙනා මේ හිරකාර ජීවිතයට පුරුදු වී ඇති සෙයකි.
 
බ්‍රිතාන්‍ය ජාතිකයන් වැඩිදෙනා දැන් ආහාර හා එළවළු අන්තර්ජාලය හරහා ර්ණීපඤඥප කර ගෙදරටම ගෙන්වා ගැනීමට පුරුදු වී ඇත.
 
බ්‍රිතාන්‍යයේ සුද්දියන් හැට පැන්නත් Style එකට හැඳ පැලඳ එළියට බසින්ට කැමැති පිරිසකි. Lock Down එකට කලින් සති තුනකට සැරයක්වත් කොණ්ඩය ඩයි කරගෙන ලස්සන වීමට Hair Saloonවලට යෑමට පුරුදුව සිටි සුද්දියන්ට දැන් සිදු වී ඇත්තේ බරපතළ අකරතැබ්බයකි. ඔවුන්ගේ අවාසනාවට රජයේ නීති අනුව රූපලාවණ්‍යාගාර සියල්ලම වසා දමා ඇත.
 
බ්‍රිතාන්‍ය මැදිවියේ හා වියපත් කාන්තාවන්ට මෙය දරුණු අසහනයක් වී ඇත. ඉදිච්ච කොණ්ඩය පිටින් ඔවුන්ට එළියට බහින්න හිතෙන්නේ නැත. මුහුණුපොත හරහා යෙහෙළියන්ට වෙනදා වගේ Selfie පින්තූර යවන්නත් ලැජ්ජාය.
 
ඉඳහිට නිර්භීත අම්මලා තමන්ගේ සැමියා ලවා කොණ්ඩය ඩයිකරවා ගන්නට ගොස් නළල පුරාම ඩයි අතුල්ලාගෙන තරහෙන් පුපුරති. අ¾දුරන යාළුවන් හමුවේයි කියන බය නිසා ඉදිච්ච කොණ්ඩය සමඟ බඩු ගන්න Supermarket යන්නටවත් මේ සුද්දියන් අකැමැතිය. අත්‍යවශ්‍යම කටයුත්තකට ඔවුන් එළියට බහින්නේ තොප්පියකින් කොණ්ඩය වහගෙනය.
 
එනිසා ලොක් ඩවුන් එක ඉවත් කරන්න බැරි නම් අඩුම ගණනේ Hair Saloon විවෘත කරන ලෙස ඉල්ලමින් මේ සුද්දියෝ පත්තරවලට ලියති. තමන්ගේ පළාතේ මන්ත්‍රිවරයාට කෝල් කරති.
 
බැරි වෙලාවත් මේ මැයි එකොළොස් වැනිදා ලොක් ඩවුන් එක ඉවර වුණොත් මැයි 12දා පුළුන් කොට්ට මෙන් සුදු කොණ්ඩ ඇති සුද්දියන් Hair Saloon ඉස්සරහ පෝලිම් ගැසී සිටිනවා අපට දකින්නට ලැබෙනවා සිකුරුය.
 
එංගලන්තයේ අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව Lock Down සමයේ ගෘහස්ථ හිංසා පීඩා ප්‍රමාණය 34%කින් වැඩි වී ඇත. ඒ කියන්නේ මානසික අසහනය වැඩි වී තම බිරියට පහර දෙන සුද්දන් ප්‍රමාණයත් ළමයන්ට හිංසා කරන මවුපියන් සංඛ්‍යාවත් එන්න එන්නම වැඩිවෙමින් පවතින බවය. එසේම පාරිභෝගිකයන් නිවෙසේ සිට බීර හා වයින් පානය කිරීම ද 31%කින් ඉහළ ගොස් තිබේ.
 
එළියට යන්නට අවසර ඇති එංගලන්තයේ තත්ත්වය එසේ නම් මුළු දවසටම ඇඳිරි නීතිය දමා ඇති ශ්‍රී ලංකාවේ සමහර ගෙවල්වල වාතාවරණය කොතරම් අවදානම්ව ඇත්දැයි අපට සිතා ගත හැකිය. දවසම ගෙදර එකට හිරවී සිටින විට රණ්ඩු සරුවල් ඇතිවීම ස්වභාවිකය. ලංකාවේ දරුවන් හතර පස් දෙනකු ඇති පවුලක ”අම්මේ අක්කා මට ගහනවෝ”, ”තාත්තේ මල්ලිත් එක්ක නම් බැහැ”, ”මෙන්න පුංචි අයියා මගේ පෑන කැඩුවා” වැනි දහසක් පැමිණිලි නිරාකරණය කරන්නට මවුපියන්ට සිදු වේ.
 
ඒ මදිවාට පැය 24ම එකම වහල යට සිටින විට නෝනා හා මහත්තයා අතර ඇති වන ආරවුල් හා නුරුස්නාකම් අති මහත්ය. එවැනි අවස්ථාවක හිත එකලසක් කර ගැනීමට කියා පාරේ ඇවිදින්නටවත් කුඹුරේ නියර දිගේ සක්මන් කරන්නටවත් ඇඳිරි නීතිය ඉඩ නොදෙන නිසා අම්මාට සිදුවන්නේ ඉස්තෝප්පුවේ තනියම සිටින තාත්තාට ඇහෙන්න කුස්සියේ ඉඳගෙන ආඩපාළි කීමටය.
 
Lock Down කාලයේ මානසික සෞඛ්‍ය රැක ගැනීම සඳහා දිනචර්යාවකට අනුව කටයුතු කරන්නැයි උපදෙස් දෙන රූපවාහිනි වැඩසටහන් මේ දිනවල බ්‍රිතාන්‍යයේ නිතර විකාශනය කෙරේ.
 
බීබීසීයේ විකාශනය වුණු එක වැඩසටහනකට අනුව පවුලේ සියලු දෙනාම මේසය වටා වාඩි වී එකට උදේ ආහාරය ගත යුතුය. ඉන්පසු මවුපියන් තමන්ගේ කාර්යාලවල වැඩ ගෙදර සිට කරන්නට පටන් ගත යුතුය. ළමයින් තමන්ගේ පාසල් මඟින් ආරම්භ කර ඇති Online පාඩම්වලට සම්බන්ධ විය යුතුයි. දවල් 11ට පමණ තමන්ගේ කාර්යාලවල වැඩ නවත්වා මවුපියන් තම දරුවන්ගේ Home Workවලට උදවු විය යුතුය.
 
දවල් කෑමෙන් පසු ළමයින්ට තමන් කැමැති දෙයක් කරමින් විනෝද වීමට අවසර දිය යුතුය. තමන්ගේ යහළුවන් සමඟ Face Bookවලින් එකතු වීම, පොත් කියවීම, අයියලා මල්ලිලා සමඟ ගෘහස්ථ ක්‍රීඩාවල යෙදීම වැනි ඕනෑම දෙයක් කිරීමට ඔවුන්ට හවස නිදහස ලැබෙන බව දන්න නිසාම මෙම දරුවන් උදේ වෙනදාටත් වඩා වුවමනාවෙන් පාඩම් කටයුතුවල යෙදෙනු ඇතැයි මේ වැඩසටහන්වලදී ප්‍රකාශ කෙරේ.
 
හැන්දෑවට මවුපියන්ට දරුවන් සමඟ එකතු වී සාමාන්‍ය දැනීම බුද්ධි පරීක්‍ෂණ ගැටලු, ප්‍රහේලිකා, තේරවිලි විසඳීම වැනි සමූහ විනෝද කටයුතුවල යෙදිය යුතු යැයිද කෑමෙන් පසු පවුලේ සියලු දෙනාම චිත්‍රපටියක් හෝ විනෝද ෂෝ එකක් නැරඹීමෙන් ආතතිය අඩු කරගත හැකි යැයිද වැඩසටහන පෙන්නුම් කරයි. තාමත් සමහර TV වැඩසටහන් Lock Down වූ පවුල් සමඟ දවසට පැයක් සාලය තුළම ව්‍යායාම් කරවති. නැතිනම් භාවනා කරන්නට උගන්වති. යෝග අභ්‍යාසවලට ඔවුන් පුරුදු කරවති. මේ අන්දමට බ්‍රිතාන්‍ය පවුල්වල බොහෝමයකට සෑදී ඇති Lock Down ආතතිය නැති කිරීමට රජය බොහෝ පියවර ගෙන යයි.
 
බ්‍රිතාන්‍යයේ පාසල් වසා ඇති නිසා බොහෝ පාසල් හා සරසවි ළමයින්ට අන්තර්ජාලය හරහා ඉගැන්වීමට කටයුතු යොදා තිබේ. ලංකාවේ සුපිරිම පාසල් ද Online Teaching පටන් ගෙන ඇති බව මම කියවූයෙමි.
 
Lock Down ආරම්භ වූ මුල් සති දෙක තුන තුළ බ්‍රිතාන්‍ය ළමයි විශාල වශයෙන් Online ක්‍රමයට වැඩිදුර අධ්‍යාපනය හැදෑරූහ. නමුත් අප්‍රේල් 20දා Daily Telegraph පත්‍රය කියන්නේ සිසුන්ගෙන් 66ක් දැන් අන්තර්ජාල පන්තිවලට Login වෙන්නේ නැතුව කට්ටි පනින බවයි.
 
ගෙදරටම කොටු වෙලා ඉන්නා පාසල් ගුරුවරුන්ටද ළමයින්ට Online ඉගැන්වීමට මුලදී තිබුණ උනන්දුව පහවී ඇති බව පත්තරය තවදුරටත් කියයි. මෙයට ප්‍රධාන හේතුව මාසයකට අධික කාලයක් එළියට පහළියට යන්නට බැරුව හිරවී ඉන්නා බොහෝ ළමයින්ට Boredom යන “රෝගය” වැලඳීමයි. Boredom යන්නට සිංහලෙන් ඇති ආසන්නම තේරුම කම්මැළිකම නමුත් බෝඩම් කියන්නේ කම්මැළිකමට වඩා බරපතළ මානසික අසහනයකි. එකම දේ බොහෝ වේලාවක් කිරීම නිසා එය එපා වීමත් Boredom ය.
 
අම්මා තාත්තා කොච්චර කීවත් Boredom වුණ පුතාට පාඩම් කිරීමට හිතක් එන්නේ නැත. පාඩම් කිරීමේදී පමණක් නොව එක දිගට TV වැඩසටහනක් හා චිත්‍රපට බැලීමේදී හෝ පොත් කියවීමේදී හෝ ඔබට මේ භයානකBoredom රෝගය වැලඳිය හැකිය.
 
ඇඳිරි නීතියට කොටුවී මානසික පීඩනයට පත්ව ඇති ඔබට Boredom රෝගය වැලඳී ඇත්නම් මෙතෙක් කරමින් සිටි කාර්යයට වඩා හාත්පසින්ම වෙනස් කාර්යයක යෙදීමෙන් එයින් මිදිය හැකි යැයි බ්‍රිතාන්‍ය ඉභද පත්‍රය උපදෙස් දෙමින් කියා සිටී.
 
මගේ බිරිය රුවිනිගේ යෙහෙළියක් ඇයට ටෙලිෆෝන් කරමින් මැසිවිල්ලක් කීවාය.
 
”අනේ අක්කේ ළමයි පස්දෙනයි මහත්තයයි කිසි ගාණක් නැතිව දවසම ටෙලිවිෂන් බලනවා. නැතිනම් TV එකේ Games සෙල්ලම් කරනවා. මට නම් උදේ, දවල්, තනියම උයලා එපා වෙලා. එයාලාට ඕන කෑම ටික වෙලාවට මේසෙට එනවා දකින්න විතරයි. නමුත් ඒවා මේසෙට ගේ්න්න මම දහදිය පෙරාගෙන තනියම වෙන මහන්සිය මහත්තයටයි, ළමයින්ටයි, පේන්නේ නැහැ. දවස පුරාම මම උයනවා. රෙදි හෝදනවා, රෙදි මදිනවා, ගේ අස් කරනවා, සුද්ද කරනවා. ඒ ගොල්ල කාමරවලට වෙලා Face Book බලනවා. මට වෙලාවකට වළං ටික පොළොවේ ගහන්න තරම් කේන්තියි.”
 
රුවිනිගේ යෙහෙළිය මෙන් ඇඳිරි නීතිය නිසා බලවත් අසහනයෙන් පෙළෙන දස දහසක් අම්මලා මේ දිනවල ලංකාවේ සිටිනවා ඇත. එනිසා දරුවන් හා ස්වාමිපුරුෂයන් වශයෙන් ඔබේ මව නැතිනම් බිරිය මෙතෙක් තනියම කළ ගෙදර වැඩ බෙදාගෙන කිරීම ඔබේ යුතුකමය. එය ඔබට විනෝදයක් මෙන්ම ආශ්වාදයක් ද විය හැකිය.
 
ඔබ රැකියාවට යෑමට නොහැකිව ගෙදර සිටින සැමියකු නම් ජීවිතයේ මුල්වරට කුස්සිය දෙසට පා නඟා බිරියට උයන්න උදවු කරන්න. ඔබ ඉහළ පන්තියක ඉගෙන ගන්නා දියණියක් නම් Face Book පැත්තක දමා කුස්සියට ගොස් අම්මාට පොල් ටිකක් ගා දුන්නොත් නරකද?
 
ඔබේ නංගිටත් Tik Tok නරි නාටක බලන එක නවත්වා කිලිටි රෙදි Washing Machine එකට දමා අම්මාට උදවු කළ හැකිය. Zoom තාක්‍ෂණයෙන් සරසවියේ යාළුවන් සමඟ පැය ගණනක් සම්ඵප්‍ර‍ලාපයේ යෙදී සිටින අයියාට කලින් දවසේ ඉදුල් පිඟන් ටික සබන් ගා හෝදා දෙන ලෙස කියන්න. ඔහු එය කරන අතරේ පුංචි මල්ලි හා ලොකු නංගිට තාත්තාගේ මෝටර් රථය හෝදා දීමෙන් ලොකු ජොලියක් ලබා ගත හැකි නොවේ ද?
 
ඔබේ විධායක නිලධාරි තාත්තාත් කියවමින් සිටින පොත පැත්තකට දමා අම්මාට ලූනු ගෙඩි කිහිපයක් කපා දී අල ටික සුද්ද කර දුන්නොත් ඇය ඉතා සතුටට පත්වනු ඇත.
 
බ්‍රිතාන්‍ය පත්තර කියන අන්දමට ඒකාකාරී දෛනික රටාව තුළ විවිධත්වයක් ඇතිකර ගැනීමෙන් ඔබගේ හිතට ශාන්තියක් සැනසීමක් ලැබෙන අතරේ පවුලේ එකමුතුකම ද වැඩිදියුණු වනු ඇත. ඒ හැම දෙයටම වඩා වහලියක් ලෙස වැඩ කරන අම්මා තුළ තිබෙන නුරුස්නා ගතිය පහවී ඇය ඔබ සැමට වැඩියෙන් ආදරය කිරීමට පටන් ගනු ඇත.
 
මෙසේ මුළු පවුලම සමඟ අලුත් අලුත් දේ කිරීමෙන් ලැබෙන ලොකුම ප්‍රතිඵලය ඔබගේ Boredom රෝගය ඉබේම සුව වීමයි.
 
ඔබ ගමේ සිටිනවා නම් කම්මැළි වූ විට ගෙවත්තේ ඇවිදිය හැකිය. නමුත් කොළඹ තට්ටු නිවාසවල සිටින්නන්ට පෙට්ටියක් වැනි කුඩා තැනක සුමාන ගණන් හිර වීමෙන් ඇතිවන ආතතිය කියා නිම කළ නොහැකිය. මෙවැනි නිවැසියන්ට මානසික සුවයක් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ තූර්ය වාදක මණ්ඩල සංගීත ප්‍රදර්ශන පැවැත්වීම අතිශය ප්‍රශංසනීය කටයුත්තකි.
 
වාසනාවට එංගලන්තයේ ගෙවල්වල අම්මාට වහලියක් මෙන් හැමදේම කරන්නට සිදු වන්නේ නැත. කුඩා කල සිටම ගෙදර ‍ෙදාරේ වැඩ බෙදාගෙන කරන්නට සුදු පවුල් පුරුදු වී ඇත. බිරිය කෑම පිළියෙල කළොත් කෑමෙන් පසු මේසය අස් කරන්නේ දුවය. පිඟන් ටික සෝදා දෙන්නේ සැමියාය. ඒවා පිහදමා නවා තබන්නේ පුතාය.
 
කොරෝනා මර්දනය ගැන බ්‍රිතාන්‍යයට හා ශ්‍රී ලංකාවට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ලංකාවේ ඔබ එළියට යනවා නම් මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය. නමුත් මුඛ ආවරණ දමා ගෙන එළිමහනේ හෝ සුපර් මාකට්වල ඇවිදින බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන ඉතා සුළු ප්‍රමාණයකි.
 
බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ වෛද්‍යවරුන් 100ක් ටෙලිග්‍රාෆ් පත්‍රයට විශේෂ ලිපියක් ලියමින් කියා සිටින්නේ ගෙදරින් පිටට යන සැම විටම මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කළ යුතු බවයි. නමුත් රජය එයට එකඟ නොවේ. කොරෝනා වයිරසය ඇස්වලින් ඇඟ තුළට ඇතුළු වීමට ඉඩ තිබෙන නිසා මුඛ හා නාසය පමණක් වැසෙන ආවරණයක් කිසිම ප්‍රයෝජනයක් නොමැති බවත් කැමැති නම් පමණක් එය පලඳින ලෙසත් බ්‍රිතාන්‍ය රජය කියයි. මෙයට අනෙක් හේතුව රටේ මිලියන හැටක ජනතාව මුඛ ආවරණ පලඳින්නට පටන් ගතහොත් ජාතික සෞඛ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ආරක්‍ෂක ඇදුම් කට්ටලයන්ට අවශ්‍ය මුඛ ආවරණ වල උග්‍ර හිඟයක් ඇතිවිය හැකි වීමයි.
 
බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාස ගණන 2,100කි. කොරෝනා රෝගය දැනටමත් නිවාස 118ක් ආක්‍රමණය කරමින් නිවැසියන් 1,700ක් මරණයට පත් කොට ඇත. ඉතිරි වැඩිහිටි නිවාසවලටත් කොරෝනා රෝගය පැතිරුණහොත් රට තුළ මහත් ඛේදජනක තත්ත්වයක් ඇතිවනු ඇත.බ්‍රිතාන්‍යයට හා ශ්‍රී ලංකාව අතර දැකගත හැකි තවත් වෙනස්කමක් නම් මන්ත්‍රිවරුන්ගේ ක්‍රියා කලාපයයි.
 
ශ්‍රී ලංකාවේ ඇතැම් මන්ත්‍රිවරු මෙන් බ්‍රිතාන්‍ය විපක්ෂ මන්ත්‍රිවරු Lock Down නීති කඩමින් කැමරා අටවාගෙන ජනතාවට ආහාර බෙදන්න යන්නේත් පොලිසියට බනින්නෙත් නැත. සමාජ සේවා සංවිධානවලින් දුප්පතුන්ට කරන ආධාරවලට ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ඇඟිලි නොගසති. ඒවායෙන් තමන්ට ලකුණු ලබා ගැනීමට උත්සාහ නොකරති. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කථානායකවරයා ද තම පැවැත්ම රැකගැනීමේ චේතනාවෙන් පාර්ලිමේන්තුව වහා කැඳවිය යුතු යැයි කියමින් රාජ්‍ය නායකයාට ලියුම්වලින් උපදෙස් දෙන්නට යන්නේ නැත. කෝකියන් වැඩි වූ විට වෑංජනය පිච්චෙන බව දන්නා ඔවුන් සියලු දෙනාම කොරෝනා සහන කටයුතු රජයේ නිලධාරීන්ට නිසි සේ කරන්නට ඉඩ හැර තම පාඩුවේ සිටිති.
 
බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සුළු ජාතිකයන් සිටින්නේ 17%ක් වැනි ප්‍රමාණයකි. නමුත් මේ දක්වා කොරෝනා රෝගයෙන් මියගිය රෝගීන් 18,000න් 37%ක් හෙවත් 6,600ක්ම සුළු ජාතිකයන් වීම සෞඛ්‍ය බලධාරීන්ට තේරුම් ගත නොහැකි ප්‍රශ්නයක් වී ඇත.
 
එසේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිසාම රෝගය වැලඳී අවාසනාවන්ත ලෙස මිය ගිය වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් නිලධාරීන් 56න් 43 දෙනෙක්ම ආසියා හා අප්‍රිකා ජාතිකයන් වීම ගැන තමන් බලවත් ලෙස කම්පා වී සිටින බවට සෞඛ්‍ය ඇමැති Matt Hancock පසුගිය බදාදා ප්‍රකාශ කළේය.
 
තවත් කොරෝනා රෝගීන් 30,000ක් පමණ මරු කටට යවමින් බ්‍රිතාන්‍යය ඉක්මනට විවෘත කොට ආර්ථිකය රැක ගන්නවාද නැතිනම් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා තව මාස තුනක්වත් ලොක් ඩවුන් තත්ත්වය පවත්වාගෙන ගොස් රට බංකොලොත් වීමට ඉඩ හරිනවාද යන බරපතළ උභතෝකෝටික ප්‍රශ්නයට බොරිස් ජොන්සන් අගමැතිතුමා අද මුහුණ දී සිටියි.

උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Katie Price moans about doing her own nails in lockdown but rises ...
Coronavirus: Why going without physical touch is so hard - BBC News
Our First Month In Lockdown - The DADventurer - UK Dad Blog
Thank you to the frontline lockdown workers who are keeping ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top