කොරෝනා වෛරසයට එරෙහිව ට්‍රම්ප්ගෙන් නව ප්‍රතිකර්මයක්
Friday, 24 April 2020 - 13:14 | Views - 11,481

COVID -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 50,000 ඉක්මවා තිබෙනවා.
එරට ආසාදිත සංඛ්‍යාවද අට ලක්ෂ 86,709 දක්වා ඉහළ ගියා.
මේ වන විට ලොව පුරා රටවල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 91,074ක්. ආසාදිතයින් වාර්තා වන්නේ විසි හත් ලක්ෂ 26,188ක් ලෙසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන ඇමරිකානු කුඩා ව්‍යාපාරිකයන් සහ රෝහල් සඳහා අරමුදල් සැපයීමට ඇමරිකානු කොංග්රස් මණ්ඩලය ඩොලර් බිලියන 484ක දැවැන්ත සහන අරමුදල් පනත් කෙටුම්පතක් ඊයේ සම්මත කර ගනු ලැබුවා.
ඇමරිකානු කොංග්රස් මණ්ඩලය කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සති ගණනාවකට පසු ඊයේ මෙලෙස රැස්වූයේ අදාළ මුදල් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ අරමුණෙන්.
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මැලේරියා ඖෂධ නිර්දේශ කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා ඊයේ තවත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළා.
කෙසේ නමුත්, ඔහු විශාල බලාපොරොත්තු සහිතව එක්රැස් කළ හයිඩ්‍රොක්සික්ලොරොක්වීන් ඖෂධය කොවිඞ් 19 මර්දනයට ප්‍රතිඵලදායක නොවන බව දැන් තහවුරු වී අවසන්.
ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ජනපති ට්‍රම්ප් වෛද්‍ය ප්‍රජාවෙන් විමසා ඇත්තේ වෛරසය විනාශ කිරීම සඳහා ආසාදිතයින්ගේ සිරුරුවලට විෂබීජනාශක එන්නත් කළ නොහැකිද යන්නයි.
එමෙන්ම, ප්‍රබල අධෝරක්ත කිරණ ආලෝකයකට රෝගීන් ලක් කිරීමෙන් වෛරසය විනාශ කිරීමටද ඔහු යෝජනා කර තිබෙනවා.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප්ගේ මෙම නිර්දේශ වෛද්‍ය ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන්.
ඔවුන් හැඳින්වූයේ එම පියවර රෝගීන්ට අනතුරුදායක විය හැකි බවයි.
කෙසේ නමුත්, ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් COVID -19 සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ තවත් යෝජනාවකට සාධාරනීකරණය සඳහා තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ, දැඩි සූර්ය රශ්මියෙන් කොරෝනා වෛරසය විනාශවීමේ හැකියාවක් පැවතිය හැකි බවයි.
ඒ සඳහා දැඩි හිරු රැස්, උණුසුම මෙන්ම ආර්ද්‍රතාව ද ඉහළ මට්ටමක තිබිය යුතු බව සඳහන්.
එහෙත්, කොවිඞ් 19 විනාශ කිරීමට හිරු රැස් සහයක් මිස ප්‍රතිකර්මයක් නොවන බව එම විද්‍යාඥයන්ගේද අදහසයි.
එමෙන්ම, කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඇමරිකාව අත්හදා බැලූ රෙම්ඩෙසිවිර් ඖෂධය ඒ සඳහා සාර්ථක වී නොමැති බව වාර්තා වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරියේදී නිකුත් කරනු ඇති.
මේ අතර, මිනිස් සිරුරේ ෙසෙලවලට කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා නිකොටින් යොදාගත හැකිද යන්න පිළිබඳව ප්‍රංශ වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ, දුම්පානය කළ සහ නොකළ රෝගීන් පිළිබඳ අධ්‍යයනයක් ඇසුරෙන්. සෞඛ්‍ය සේවකයන්ට නිකොටින් ප්ලාස්ටර් අලවා ඔවුන්ට කොරෝනා ආසාදනය අවම වන්නේ දැයි මෙහිදී පරීක්ෂා කර තිබෙනවා.
කෙසේ නමුත්, දුම් පානයේ අහිතකර ප්‍රතිඵල පිළිබදව අවධාරණය කරන එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය වෛසරය වැළැක්වීමේ විකල්පයක් ලෙස හැදින්විය නොහැකි බවයි.
පර්යේෂණය සිදුකළ ප්‍රංශයේ දුම්පානයෙන් වසරකට මිය යන සංඛ්‍යාව 75,000කට අධිකයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මධ්‍යයේ, සෞදි අරාබිය ඇතුළු ඉස්ලාමීය රටවල් රැසක් අද රාමසාන් උපවාස සමය ආරම්භ කළා.
නව සඳ දැකීමෙන් අද සිට රාමසාන් උපවාසය ඇරඹෙන බවයි සෞදි රජමැදුර නිවේදනය කළේ.
කෙසේ නමුත් කොරෝනා වෛරස් සීමාවන් හමුවේ බැතිමතුන්ට පල්ලි වෙත පැමිණ යාඥා මෙහෙයන්ට සහභාගිවීමට නොහැකිවීම ගැන සෞදියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු කණස්සල්ල පළ කළා.
ලොව ජනාකීර්ණතම මුස්ලිම් රාජ්‍යය වන ඉන්දුනීසියාව රාමසාන් උපවාස සමය අද ආරම්භ කළේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක වද්දියි.
කෙසේ නමුත්, ඉන්දුනීසියානු අචේ ප්‍රාන්තයේ මුස්ලිම්වරුන් එම සීමාවන් නොතකා එක්රැස් වී යාඥා මෙහෙයන් හි නිරත වූ බව ද වාර්තා වනවා.
Share This Article