මේ සටහන තබන මොහොත වන විට අපට ලැබුණු විදෙස් ආරංචිමාර්ගවලට අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මරණයට පත්වෙමින් සිටින බවටත් ඔහු ගොඩගත නොහැකි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට වූ වාර්තා බොහෝය.
කෙසේ වෙතත් උතුරු කොරියාවෙන් නිවැරදිම පුවතක් එසැණින් ලබා ගැනීමට නොහැකි වන අපහසුතාවන් නිසා මෙම පුවත එකවරම විශ්වාස කරන්නට අදි මදි කරන බවක් ලෝකය පුරාම තිබිණි.
මේ සතිය තුළ එරටින් වාර්තා වූ තොරතුරුවල සමානකමක් තිබීම මත එය සත්‍ය නම් කිම් ජොන් උන් ශල්‍යකර්මයකින් පසු දරුණු තත්ත්වයක පසුවෙයි. එහෙත් එයද හෙට බොරුවක් බව එරටින්ම පැතිර යෑමටද පුළුවන. පසුව ඔප්පු වියද හැකිය.
කෙසේ වෙතත් ලෝකයම හෙල්ලූ, ඇමෙරිකානු රජයටද හිසරදයක් වූ මේ අමුතු දඩබ්බර රාජ්‍ය නායකයා තරුණවීම නිසාදෝ ඔහුගේ පාලනය ඇරැඹි දා සිටම පුවත් මවන්නකු වූයේය. ඔහු තද සිත් ඇති, ගති ඇති කෲර පාලකයකු බවට බටහිර දේශපාලනයේ කියැවීමයි.
කෙසේ වෙතත් මිලියන 25ක් පමණ වන උතුරු කොරියානුවන්ට “සන්නද්ධ ජාතියක් “ යන ලේබලය ඇලවුණේ කිම් නිසාමය.
ඔහු රට තුළ කොතරම් අගහිඟකම් තිබුණේ වුව තමන්ට දේශපාලනිකව හා ආර්ථික වශයෙන් සතුරු බලවේගවලට එරෙහිව අවි ඔසවන්නටත් අවි තනන්නටත් පටන් ගත්තේය. එය ලෝක සම්මතයේම හා නීති සිද්ධාන්තවලට පිටින් ගිය හිතුවක්කාර ප්රවේශයක්ම විය.
එසේ තිබියදී ඔහු සැබැවින්ම මියගියා නම් ඉන් පසු උතුරු කොරියාවට වන දේ කුමක්දැයි ඇතැම් පුවත්පත් ඉතා ගැඹුරින් දේශපාලන කියැවීමක්, විග්‍රහයක් කරන්නටද පෙලඹි තිබුණේය.
ඔහු ලෝකයම පුදුමයට පත්කොට හදිසියේම මියගියහොත් සිදුවන තත්ත්වය එහිදී කියැවිණි.
මේ සතියේ මුලදී සෝල්හි වෙබ් අඩවියක් වන Daily NK හි තහවුරු නොකළ වාර්තාවකින් කියැවුණේ, උතුරු කොරියානු නායකයා හෘද සැත්කමකට භාජන කළේ හදිසියේම බවයි.
එය සිදුකළ පසු ප්යොංයැං අගනුවරින් පිහිටි ස්ථානයක පසුවන බව වාර්තා කළේය. පසුව CNN පුවත් සේවය නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් පවසා සිටියේ, එය ඉතා විශ්වාස කටයුතු බුද්ධි අංශ වාර්තාවකට අනුව එවැන්නක් සිදුව ඇති බවය.
ඇමෙරිකානු ඔත්තු සේවා නිරතුරුව කිම්ගේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවත් කියැවේ. තවත් බුද්ධි අංශ වාර්තාවකට අනුව “කිම් බරපතළ අනතුරකට” ලක්ව ඇති බවත් ඒ නිසා කිම්ගේ සීයා සහ උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ උපන්දිනය සැමරීමේ උත්සවයකටද ඔහුට සහභාගි වීමට නොහැකි වූ බවයි.
ඒ අප්‍රේල් 15 වැනිදා ය. එම දිනය කිසිදා මින් පෙර අමතක නොකර සැමරූ ඔහුට ඊට සහභාගි වීමට නොහැකි වූයේද උක්ත කරුණ නිසා බවත් වාර්තා වේ.
දිගින් දිගටම කිම් ජොන් උන් ගේ තත්ත්වය පිළිබඳ විදෙස් මාධ්‍ය විවිධ වාර්තා ගෙන එමින් තිබුණත් ඒ එකකටවත් නිල වශයෙන් උතුරු කොරියානු රජය පිළිතුරු දී නොතිබීමද සැලකිය යුත්තකි. විශේෂයෙන් කිම් සිටින ස්ථානය පිළිබඳ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිහඬව සිටීමත් එහි ගුප්ත ස්වභාවයත් කැපී පෙනෙයි.
කිම් ජොන් උන් එහිදී ලිහිසි තෙල් කර්මාන්ත ශාලාවක් බලන්නට නිකමට ගියත් එයද විස්තර කරන එරට රාජ්‍ය මාධ්‍යයන්හි ගොළුවීම සලකා බැලිය යුත්තකැයි කියැවේ.
එහෙත් උතුරු කොරියාව බැරිම තැන කීවේ කිම් සැත්කමකට භාජන වූ බවට වාර්තා කළ නොහැකි බවය. එහෙත් චීනය එය ප්‍රතික්ෂේප කළේය. කිම් සැබැවින්ම මියගියා නම් හෝ මියයමින් සිටින තත්ත්වයක සිටින්නේ නම් එය උතුරු කොරියාවට බරපතළ ප්‍රශ්නයක් වනු ඇත.
කිම් ජොන් උන්ගෙන් පසු උතුරු කොරියාව බාරගන්නේ කවුදැයි කතා බහට ලක්වන්නේ මේ අතරය. ඊට ඓතිහාසික පසුබිමක්ද ඇත. ඒ දශක හතක් තිස්සේ උතුරු කොරියාව පාලනය කළේ කිම්ලාගේ පරපුර වීමද නිසාවෙනි.
“ඇසෝසියේටඩ් ප්‍රෙස් “ වාර්තා කරන පරිදි දකුණු කොරියාවේ සෙජොං ආයතනයේ විශ්ලේෂකයකු වන චියොන් සියොන්ග් -චැං පැවසුවේ, ඔහුගේ සොහොයුරිය වන කිම්යෝ ජොන්ට බලය පැවරීමේ හැකියාව සියයට අනූවකටත් වඩා වැඩි බවය. ඇයට “ රාජකීය ලේ” තිබෙන අතර” උතුරු කොරියාව රාජවංශයක්” වැනිය. මෙයට සමීප දැක්මක් සහිත දේශපාලන විචාරකයන් පවසන ආකාරයට.
“මෑත වසරවලදී ඇය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් සමඟ ඉහළ පෙළේ රැස්වීම් සඳහා තම සහෝදරයා සමඟ පැමිණ ඇති අතර ඇය උතුරු කොරියාවේ අංක 2 නිලධාරිය වීමත් මීට බලපා තිබෙනවා” යන කියැවීමට වැඩි වාසියක් ඇති බවය.
එහෙත් ඇතැම් විචාරකයන් පවසන්නේ උතුරු කොරියාවේ පාලන තන්ත්රයේ සංස්කෘතියට අනුව ඇයට බලයට පත්වීමට බාධාවක් ඇති බවත් පිරිමි ආධිපත්‍ය ඇති පුරුෂාධිපත්‍ය නායකත්ව ව්‍යුහය කිම් යෝ ජොං විභව අනුප්‍රාප්තිකයකු ලෙස පිළිගැනීම බැහැර කිරීමට ඉඩ ඇති බවත්ය.
කිම්ට තවත් සහෝදරයෙක් සිටී. ඔහු කිම් ජොන් චොල්ය. ඔහුද වයසින් වැඩිය. එහෙත් ඔහුට දේශපාලනය ගැන හෝ පොදු ජීවිතය ගැන උනන්දුවක් නැති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. ඔහු දක්ෂ ගිටාර් වාදකයකු වන අතර මීට වසර පහකට පෙර එරික් ක්ලැප්ටන් ප්රසංගයේදී දැක ගත හැකි විය. ඔහුවද නායකත්ව තනතුරට තල්ලු කරනු ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති. ඔහුද රාජකීය ලේ ඇත්තකු නිසා ඒ ගැනද බලාපොරොත්තු තබා ගත හැකිය.
කිම්ට දරුවන් සිටින අතර ඔවුහු බලය භාර ගැනීමට තරම් සුදුසු වයස්හි පසු නොවෙති. තවද කිම්ට වයස අවුරුදු 65ක් තරම් වූ මාමා කෙනකුද සිටී. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස වසර ගණනාවක්ම සේවය කොටද ඇත. නමුත් ඔහු වසර කිහිපයකට පසු බල කවයෙන් පිටතට ගියේය.
මෙම තත්ත්වය මත බල අරගලයක් ඇතිවනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති. එය කලාපයේ ස්ථාවරත්වයට හානිකර වන්නකි. න්‍යෂ්ටික අවි පිළිබඳ නොදන්නා අය අතට ඒවා පත්විය හැකි බවත් ඒ නිසා එරට තුළ විශාල සරණාගත රැල්ලක් චීනය දෙසට ඇදී යා හැකි බවත් පැවැසේ.
නමුත් තවමත් ඔහු මරණයට පත්ව ඇති බව නිශ්චිතව තහවුරු වී නොමැති තත්ත්වයක් තුළ වයස තිස් ගණන්වල මැද භාගයේ පසුවන කිම්, මේ පුවත බොරුකොට යළි කාය ශක්තියෙන් යුතුව නැඟීසිටියහොත් ඊටද පුදුම වන්නට බැරිය. ඒ උතුරු කොරියාවේ පුවත් මැවෙන හැටිත්, මවන්නට අරමුණු වන හැටිත් අනුව නිසාමය.
සජිත් රෝහිත ලියනගේ
මව්බිම


