කොරෝනාවට බයෙන්, වෛද්‍යවරියක් වූ සිය පෙම්වතියව, හිත් පිත් නැතිව අවසන් ගමන් යැවූ නරුම පෙම්වතා
Thursday, 23 April 2020 - 17:53 | Views - 4,921
සීත හිමවලටත් වඩා ලොරේනාගේ දෑත් සීතලයි. එහෙත් ජේස්ගේ ආදරයේ උණුසුමින් ඒ සීතල මොහොතකට නැතිවී යයි.
 
'ලොරේනා කොරන්ටා' සෑම විටම සිතුවේ දෙදෙනා ඉතාලියේ පුංචි සුන්දර දූපතක අසල්වැසියන්වී ඉපදුනේ දේවහාස්කමකට කියායි. එකට වැලි සෙල්ලම් කරද්දි පුංචි ලොරේනා, ජේස්ගේ වෛද්‍යවරිය වුණා.

ලොරේනා ඇගේ සුරතල් බළල් පැටවාගේ පපුවට ලීක්ස් කොළයක් තබා හදගැස්ම බලන විට ජේස් ඇයට සහය වුණා.
 
"හරි අපූරු දරුවෝ දෙන්නෙක්. දේව කැමැත්තටම ඉපදුණු දෙන්නෙක්.." අසල්වැසියන් පැවසුවේ ලෙන්ගතුකම් උතුරා යන හදවත්වලිනුයි.
 
ජේස්ට වඩා ලොරේනා එක් වසරකින් බාල වුණා.
 
සෙල්ලමට වගේම දෙදෙනා ඉගෙනුමටත් මුල් තැන දුන්නා. එහෙත් වැඩි දකස්කම් පෑවේ ලොරේනා යි.
 
"කවරදාක හරි මම වෛද්‍යවරියක් වෙනවා" ලොරේනා අම්මා තාත්තාට වගේම ජේස්ටත් නිතරම පැවසුවා.
 
"එහෙනම් මම නර්ස් කෙනෙක් වෙනවා.." ජේස් එහෙම කියද්දි ලොරේනා තව තවත් වෛද්‍යවරියක් වීමට දිරිමත් වුණා.
 
"ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරද්දි මට උදව් වෙන්න ජේස් ඉන්නවනේ.." එසේ සිතීමම ඇයට මහත් අස්වැසිල්ලක් වුණා.
 
කාලය ගෙවී ගියා. පුංචි රෝස කැකුළියක බඳුවූ ලොරේනා දැන් විකසිත රෝස පුෂ්පයක් මෙන් හැඩකාරයි. කටකාරයි. කුමාරයෙකු සේ ජේස්, ලොරේනා ඉදිරියේදී වෙනදාට වඩා දඟකාරයෙක් වුණා.
 
ජේස් හෙද නිලධාරියෙක් ලෙසින් සිසිලි දූපතේ මෙසිනාවල සේවයට බැඳුණා. ලොරේනා කොරන්ටා ද ඒ රෝහලේම නවක වෛද්‍යවරියක් ලෙස පත්වීම ලැබුවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති දැඩි කැමැත්ත නිසාම වෛද්‍යවරියක් වූ ලොරේනාට දිවා රෑ නොබලා සිත් සේ සත්කාර කිරීමට හැකියාව ලැබුණා.
 
මාර්තු අවසන් වන විට ඉතාලියේ කොරෝනා රෝගීන් අහස උසට නැග තිබුණා.
 
ලොරේනා මරණය අභිමුවේ ජීවිතය අදින රෝගීන්ට හුස්ම දෙන්නට වෙර දරද්දි ජේස්ගේ සිතට වධ දුන්නේ එකම එක කරුණක් පමණයි.
 
ඒ රෝගීන් සමඟ නිතර ගැවසෙන ලොරේනා, මේ වන විටත් තමන්ට රෝගය බෝ කර අවසන් බවයි.
 
වැලිකෙළියේ සිට බැඳි සෙනෙහස මතකය දැන් ගිලිහී ගොසිනුයි. කොවිඩ් 19 වැළඳුණූ රෝගීන් මිය යන අන්දම ඔහු සියැසින්ම දැක තිබුණා. හෙදි සේවයට පැමිණි දිනයේ සිට එතරම් දුක් විඳ මිය යන රෝගීන් ඔහු දැක තිබුණේ නැහැ.
 
ජේස්ට ලොරේනා පෙණුනේ තම ආත්මය ගිල ගන්නට පැමිණි යක්ෂණියක් ලෙසයි.
 
රෝගීන්ට ප්‍රතිකාර කර‍ෙදඩි ලෙස වෙහෙස වී සිටි ලොරේනා ජේස්ගේ නවාතැන් පොළට පැමිණියේ ඔහුගේ ආදරබර වදනකින් සැනසුමක් ලබා ගැනීමටයි.
 
වෙනදා ගෙල ආදරයෙන් වෙළා ගන්නා ජේස්ගේ දෑත්වල රළු බවක් ලොරේනාට දැණුනා. වෛරසය විසින් කොරෝනා ආසාදිතයෙකුගේ ගෙල සිරකරනවාටත් වඩා තදින් තම ගෙල මෙතෙක් පණ සේ සෙනෙහස දැක්වූ ජේස් තද කරගෙන දත් විලිස්සා ගෙන බලා සිටියේ යකෙකු විලසිනුයි.
 
අකාලයේ ගිලිහෙන පුෂ්පයක් මෙන් ලොරේනා ඇද වැටුණා.
 
"ජේස් ඇයි මේ...?" කියා විමසීමටවත් ලොරේනාට ඉඩක් ලැබුණේ නැහැ.
 
වියරුවෙන් මෙන් නැඟි සිටි ජේස් පොලිසියට කතා කර, ලොරේනා තමන්ට කොරෝනා රෝගය බෝ කළ නිසා ඇය මරා දැමූ බව පැවසුවා.
 
වහාම එතැනට පැමිණි පොලිසිය දුටුවේ ලේ විලක් මැද වැතිර සිටින ජේස් හා තරුණ වෛද්‍යවරියගේ මළ සිරුරයි. පසුව ඔහු රෝහල්ගත කෙරුණා.
 
ජේස් මෙවන් දරුණු අපරාධයක් කිරීමට පෙළඹුණේ පරීක්ෂණ-වලින් දෙදෙනාටම රෝගය වැළඳී නැති බව ඔප්පු වී තිබියදී යි.
 
රටට වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය මොහොතක සිදුවූ ඝාතනයෙන් මුළු ඉතාලියම කම්පා වූවා.
 
ඇයගේ මාපියන් අදට ද දියණිය මිය ගිය පුවත පිළිගන්නේ නැහැ.
 
මිය යාමට දින කිහිපයකට පෙර ඇය කිසි සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැතිකමින් වෛද්‍යවරුන් මරණයේ දොරකඩටම පැමිණ සිටින බව පවසා තිබුණා.
 
ඒ වන විටත් රෝගීන්ගෙන් වෛරසය ශරීර ගත වී වෛද්‍යවරුන් හතළිස් එක් දෙනෙකු මිය ගොස් තිබුණා.
 
එහෙත් ඇය වෙත මරු කැඳවූයේ වෛරසය නොව පෙම්වතා යි.
 
පසුගිය මාසයේ ජේස් ද සිය සමාජ වෙබ් අඩවියෙන් ලොරේනා ගැන තමන් ආඩම්බර වන බව පවසමින් සුබ පතමින් ඇය දිරිමත් කර තිබුණා.
 
මේ සාහසික අපරාධයෙන් පසු ඔහුගේ සමාජ වෙබ් අඩවිය වෙත එල්ල වූයේ ගල් මුල් පමණකි.
 
-චම්පිකා දීපානි රණසිංහ





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top