පොළොන්නරුවේ ආසාදිතයා ඇසුරු කළ අනුරාධපුර ඩිපෝවේ රියදුරෙකුත් නිරෝධායනයට
Thursday, 23 April 2020 - 13:06 | Views - 1,941

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළා ඇසුරු කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ඒ, ඔහු අදාළ සෙබළා සමඟ සාදයකට සහභාගිවීම හේතුවෙන්.
අද පෙරවරුවේ මොහු සේවය කරන අනුරාධපුර ඩිපෝවේ අනෙකුත් සේවකයින් ද වෛද්‍ය පරීක්ෂණයටද යොමු කෙරුණු අතර, එම භූමිය විෂබීජහරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක.
පොළොන්නරුව - පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි මෙම සෙබළා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ පොළොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් හුදකලා කිරීමට ඊයේ පියවර ගැනුනා.
එම ගම්මානවල පවුල් හයදහසකට අයත් පුද්ගලයින් 22,000 ක් පමණ ජීවත්වන බවයි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බුද්ධික පරාක්‍රම ධර්මසේන කියා සිටියේ.
එමෙන්ම අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ඇතුලූ ඍජු සබඳතා පැවැත්වූ 44 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුනා.
මේ වනවිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, එම ගම්මානවලින් පිටවීමට හෝ ඇතුලූවීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රසාංග නිරෝෂන සඳහන් කළේ.
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් විසිදෙනා අතරින් පස්දෙනෙකු දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින කොළඹ 12 - කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එමෙන්ම ඊයේ බේරුවල, චීනකොටුව සහ පන්නිල ඇතුලූ ප්‍රදේශ කිහිපයක පදිංචි 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින්නන් වන අතර, නිරෝධායන කාලය අවසන් වීමත් සමඟ සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයකදියි ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ.
නාවික හමුදා සෙබළාට අමතරව ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සහ වරකාපොල - තුල්හිරිය මීට පෙර හඳුනාගැනුනු කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා සේවිකාව ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා වැළඳී ඇති බව තහවුරු වුණා.
මේ අතර අදත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ වෙළඳුන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.
ඒ, පසුගියදා පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත මත්ස්‍ය වෙළෙන්දා එම වෙළඳපොලට පැමිණ තිබීම හේතුවෙන්.
දැනට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් වන අතර, පුද්ගලයින් 218 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
හිරු ටී වී ඔස්සේ මේ වනවිට විකාශය වන රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ රට විවෘත කිරීමට පෙර දැනට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලිය සාධනීය මට්ටමකට ගෙන ආ යුතු බවයි.
එම වැඩසටහනට එක්වූ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ, කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් දසදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද උදෑසන එරට බලා පිටත්ව ගියා.
උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ මෙම ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර් බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු සමඟයි.
මෙම යානය පස්වරු 2.55 ට යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර අද අලූයම 4.45 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
පසුව ඔවුන් රැගෙන ආ ගමන් මළු විෂබීජහරණය ලක් කර නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදී තිබෙනවා.
Share This Article