පාස්කු ප්‍රහාරයට වසරක් ගතවුවත්, වගකිවයුත්තන් නිදැල්ලේ - කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්
Tuesday, 21 April 2020 - 13:16 | Views - 581
රටම කම්පාවට පත් කරමින් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා එනම් පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථාන, දේවස්ථාන ඇතුලූ ආගමික ස්ථානවල අද වැඩසටහන් රැසක් පැවැත්වුණා.

අද පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වාගනිමින් දිවි අහිමිවූ සහ විපතට පත්වූ අය සිහිකරනු ලැබූ අතර, යළිත් මෙවන් ව්‍යසනයක් රට තුළ ඇති නොවේවා යැයි ප්‍රාර්ථනා කරමින් පෙරවරු 8.47 ට පහන් දැල්වීමට කටයුතු කෙරුණා.

මීට අමතරව උදෑසන 8.40 ට සියලූ කිතුණු දේවස්ථානවල සීනු නාද කළ අතර, බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ඒ වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද විශේෂ දිව්‍ය පූජාවක් අද පැවැත්වුණා.

රටේ පවතින වාතාවරණය හේතුවෙන් එය, පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පමණක් එම පූජාව පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

මීගමුව - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ද පාස්කු ඉරිදා ප්‍රහාර අනුස්මරණය කරමින් දිව්‍ය පූජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබුණා.

මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ පූජාවක් සංවිධාන කර තිබුණේ ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහි කරමින්.

එමෙන්ම කොළඹ - හුණුපිටිය - ගංඟාරාම විහාරස්ථානයේද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සිහිකර විශේෂ පිංකමක් සංවිධාන කරනු ලැබුවා.

මේ අතර කොල්ලූපිටිය ජුම්මා මස්ජීඞ් පල්ලියේද මවුලවි තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා.  

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම ෂැංග්‍රිලා, සිනමන්ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල් ඉලක්ක කරගෙන පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙරටට එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමුවන අනුස්මරණය වෙනුවෙන් කොළඹ පිහිටි  ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල තානාපති කාර්යාලවල ජාතික ධජ අඩකුඹු කර තිබෙනු දක්නට ලැබුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී රටවල් 14 කට අයත් විදේශිකයන්ද ජීවිතක්ෂයට පත්වීම මෙහිදී සිහිපත් කළ යුතු කරුණක්.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට අත්විඳින්නට වූ වේදනාව ඇමරිකානුවන්ද බෙදාහදාගන්නා බවයි. එමෙන්ම වින්දිතයින්, දිවි බේරාගත් අය සහ සියලූදෙනා වෙනුවෙන් ත්‍රස්තවාදය සදාකාලිකව තුරන් කිරීමට අඛණ්ඩව එක්ව කටයුතු කරන බවයි එම සටහනේ වැඩිදුරටත් දැක්වුණේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සම්පූර්ණ වුවද එය මෙහෙයවූ පුද්ගලයින් රටට හෙළි කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරන පරීක්ෂණ ශක්තිමත්ව ගෙන යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top