ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ඇමරිකාවේ අධීක්ෂණයට - කොරෝනා වෛරසයේ සුළමුල ගැන ජර්මනියත් කරුණු විමසයි
Tuesday, 21 April 2020 - 7:57 | Views - 31,955

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසිහතර ලක්ෂ අසූ දහස් පන්සියය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑදහස ඉක්මවා ඇති බවයි නවතම වාර්තාවලින් හෙළිදරව් වන්නේ.
ඒ අතුරින් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම්, කොරෝනා මරණ 42,500 ක් පමණ වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
එරට ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට හත්ලක්ෂ 92,000 ඉක්මවා තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූ චීනයේ වූහාන් නුවර අධිආරක්ෂිත ජෛව සුරක්ෂිත පරීක්ෂණාගාරය ඇමරිකාවේ අවධානයට ලක්ව තිබෙනවා. චීන විද්‍යාඥයන් පවසන පරිදි කොරෝනා වෛරසය මිනිසාට ආසාදනය වූයේ වූහාන් නගරයේ වනසත්ව මස් වෙළඳපොලෙන්.
කෙසේ නමුත් වූහාන් නගරයේ පිහිටා ඇති වෛරස් පරීක්ෂණාගාරය පිළිබඳව විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී ඇත්තේ එයින් අත්වැරදීමකින් හෝ කොරෝනා වෛරසය මුදාහරින ලද බවට සැකයෙන්.
ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැළකෙන වූහාන් ජෛව පරීක්ෂණාගාරය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැළකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් එල්ල කරන්නේ නිල චෝදනාවක්.
වූහාන් වෛරස් බැංකුව පරීක්ෂාවට ලක් කළ යුතු බව සඳහන් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින්.
1500 කට අධික වෛරස් එකතුවක් සහිත වූහාන් ජෛව පරීක්ෂණාගාරය 2015 වසරේ ඉදිකළ අතර, අවසානයේ විවෘත කරනු ලැබුවේ 2018 වසරේදියි.
ප්‍රංශ ජෛව රසායනික සමාගමක් උපදේශකත්වය සැපයූ එම පරීක්ෂණාගාරය නිපදවීමට වැය කර ඇති මුදල යුආන් මිලියන 300 කට අධිකයි.
වර්ග මීටර 3,000 ක වපසරියකින් යුත් මෙම පරීක්ෂණාගාරයේ වෛරස් සාම්පල රඳවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසකයි.
කෙසේ නමුත් කොරෝනා වෛරසය මෙම පරීක්ෂණාගාරයෙන් ගිළිහුණු එකක් බවට එල්ලවන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් චීනයෙන් ඉල්ලා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්තව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
විශේෂයෙන් වෛරසය වූහාන් නගරයේ ආරම්භ වූ ආකාරය සහ එය මුල් දිනවල පැතිරුණු ආකාරය පිළිබඳව සියල්ලන්ට කරුණු දැනගැනීමට අවශ්‍ය බව ජර්මන් නායිකාව කියා සිටියා.
කොරෝනා වෛරසයේ සුලමුල පිළිබඳ සංවාදයට බ්‍රිතාන්‍යයද එක්ව සිටින අතර, එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භය සහ එය මුල් අවධියේ පාලනය කිරීමට නොහැකිවීම පිළිබඳව චීනය වෙත බරපතල ප්‍රශ්න කිහිපයක් යොමුවන බවයි.
චීනය ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සොයාබැලිය යුතු බවයි කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට වැඩබලන විදේශ ලේකම් ඩොමිනික් රාබ් අවධාරණය කළේ.
මේ අතර කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව අට දහස ඉක්මවා ඇති සිංගප්පූරුව වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන ඇති සීමාවන් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී 1426 කින් ඉහළ ගියේ එරට සංක්‍රමණික සේවකයන්ගේ නේවාසිකාගාර වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදියි.
වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට නිවස තුළම රැඳී සිටීමේ නියෝගය කඩ කළ පුද්ගලයන් රැසක් සිංගප්පූරුව මේ වනවිටත් අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, විදේශිකයන්ද ඒ අතර සිටින බව සඳහන්.
සමාජ දුරස්ථභාවය කඩන පුද්ගලයන්ට සිංගප්පූරු ඩොලර් දහසක දඩයක් සිංගප්පූරුව නියම කරන අතර, කොරෝනා වෛරසය ගැන නොමග යවන සුළු තොරතුරු පතුරුවන පුද්ගලයන්ට ඩොලර් දස දහසක දඩයක් සහ මාස හයක සිර ද`ඩුවමක් නියම කරන බව ප්‍රකාශයට පත් කළා.
Share This Article