පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට තිබූ සැලසුමක් ගැන හෙළිවේ
Sunday, 19 April 2020 - 18:56 | Views - 558

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට සැලසුමක් තිබු බවත්, සී.අයි.ඩී පරීක්ෂණ අනුව එය වළක්වා ගත හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න, අද පැවැත්වුන විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
විදේශ රටක කිහිප දෙනෙකුගේ සහය ලබාගෙන දකුණු ආසියානු කලාපයේ රටක ප්‍රහාරයක් එල්ල කර එම ප්‍රහාරකයන් සඟවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට සැලසුම් කළ පුද්ගලයන් ගැනද තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කළා.
දැනට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ, හුදු දුරකථන සංවාද මත පමණක් නොව, සී. අයි. ඩී විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි ලැබුන නිසා බවද ඔහු කියා සිටියා.
සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදුන බවට ප්‍රචාරයක් යවා ඇත්තේ විමර්ශකයන් නොමග යැවීමට බවයි පොලිස් ප්‍රකාශකවරයා පැවසුවේ.
අත්අඩංගුවට ගත් අය යම් සංවිධානවලට සම්බන්ධව කටයුතු කර ඇති බවත්, මුස්ලිම් අන්තවාදය පැතිරවීමට, ඉස්ලාම් දහම වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට කටයුතු කර ඇති බවත් හෙළිව ඇතැයි ඔහු ප්‍රකාශ කළා.
මෙම කටයුතුවලට සහය වූ තවත් පිරිසක් ගැන විමර්ශන පවත්වන බවද ඔහු පැවසුවා.
Share This Article