කොරෝනා ආසාදිත බවට ඊයේ තහවුරු වූ දසදෙනාගෙන් 6ක් කෙසෙල්වත්තෙන්
Sunday, 19 April 2020 - 13:33 | Views - 2,729

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ දසදෙනාගෙන් හයදෙනෙකුම කොළඹ - කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්.
බණ්ඩාරනායක මාවතේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පසුගිය 15 වනදා අනාවරණ වුණා.
පසුගිය පෙබරවාරි 29 වනදා ඇය සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයන් රැගෙන යන ආයතනයක් මාර්ගයෙන්.
මාර්තු 12 වනදා ඇය යළි මෙරටට පැමිණ තිබූ අතර, පොලීසියේ ලියාපදිංචි වී දින 14ක කාලසීමාවක් නිරෝධායනයටද ලක්වී තිබුණා.
කෙසේ වෙතත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 15 වනදා රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අනාවරණ වූ අතර, ඊට අමතරව ඇය සමඟ වන්දනාවේ ගිය ස්වාමි පුරුෂයාට මෙන්ම වැඩිමහල් පුත්‍රයාට සහ බාල පුත්‍රයාටද වෛරසය වැළඳී තිබුණා.
ඊයේ දිනයේ මෙලෙස වෛරසය වැළඳී ඇති බවට අනාවරණ වූ 10 දෙනාගෙන් හයදෙනෙකු අතර සිටින්නේ දඹදිව සිට පැමිණි මෙම කාන්තාවගේ ඉදිරිපස නිවසේ පදිංචිකරුවන් දෙදෙනෙක්, යාබද නිවසේ පදිංචිකරුවන් දෙදෙනෙක් සහ ඒ ආසන්නයේ පිහිටි තවත් දෙමහල් ගොඩනැගිල්ලක ජීවත්වන පවුල් දෙකකට අයත් පුද්ගලයන් දෙදෙනෙක්.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භවීමෙන් පසු මෙලෙස එකම ප්‍රදේශයකින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
කෙසේ වෙතත් එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තාවීම හේතුවෙන් තවත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ අතර ඊයේ දිනයේ වාර්තාවූ අනෙක් කාන්තාව කෑගල්ල - තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයට මෙම රෝගය වැළඳී ඇත්තේ කටුනායක ප්‍රදේශයේ සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක සේවය කරන සිය හිතවතියක මාර්ගයෙන් බව අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ ඊයේ දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තාවූ අතර, ඔවුන් ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් කොරෝනා රෝගීන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ හේතුව මත නිරෝධායනය සඳහා යොමුකළ අය බවයි වාර්තාවන්නේ.
අද දිනය තුළ මේ දක්වා කොරෝනා වෛරස් නව ආසාදිතයන් කිසිවෙකුත් වාර්තාවී නැහැ.
ඒ අනුව තවදුරටත් මෙරට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවන්නේ 254ක් ලෙසයි.
Share This Article