අවසන් හුස්ම හෙළීමට පෙර, තුන් නිවුන් දරුවන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි බිරිඳ ගැන, සැමියා හෙළි කළ හද කම්පා කරවන කතාව
Sunday, 19 April 2020 - 12:21 | Views - 2,924

සුමිත් නන්දසිරි හා සඳුනි විමර්ශිකා පීරිස් විවාහ වූයේ 2015 අගෝස්තු මාසයේදී යි.
මීරිගම පදිංචි විමර්ශිකා මංගල නැකතින් කැඳවාගෙන එන්නට සුමිත් අති විශාල මුදලක් යොදවා සුවිසල් තෙමහල් නිවසක් ද සාදා නිම කළා. මිල මුදල් පමණක් නොවි ආදරය අතින් ද පොහොසතෙකු වූ සුමිත් තම ප්රියාදරිය සමඟ ඉතා සතුටින් කල් ගෙව්වා.
දරුවෙකු පිළිබඳ ඔවුන්ගේ සිහිනය සැබෑ වෙන්නට තරමක කාලයක් ගතවුණා. වසර දෙක තුනක් ගත වෙද්දිත් සැබෑ නොවූ නිසා වරෙක ඔවුන් බියට ද පත්වුණා.
"බයවෙන්න එපා, ළඟදීම ඔයාට දරු සුරතල් බලන්න හැකිවේවී.." වරෙක ඇය සුමිත්ට පැවසුවා.
"ඉස්සෙල්ලාම දෙන්නේ පුතෙක්ද ? දුවෙක්ද?" සුමිත් ප්‍රශ්න කළ විට ඇය පිළිතුරු දුන්නේ "පුතෙක්" කියායි.
පසුගිය වසරේ මැද භාගය වන විට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු විමේ පෙරනිමිති පහළ වුණා. දෙදෙනාටම ඇතිවූයේ නිම්හිම් නැති සතුටක්.
"ඔයා දැන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෑ.." සුමිත් එසේ කීවේ වෘත්තියෙන් ගුරුවරියක් වූ සඳුනි විමර්ෂිකාට දිනපතා කිලෝමීටර දහයකට ආසන්න දුරක් පාසල වෙතට යාමට තිබූ බැවිනුයි.
ව්‍යාපාරිකයෙකු වූ සුමිත් හැකි සෑම මොහොතේදීම ඇය පසුපසින්ම සිටියා. ඇයට අවශ්‍ය ආදරය, ආරක්ෂාව ද ලබා දුන්නා.
මිල මුදලින් කිසිදු අඩුවක් නොතිබූ ඔහු සතුව සුඛෝපබෝගී වාහන කිහිපයක්ද තිබූ අතර සඳුනිට ද නවීන මෝටර් රථයක් ලබා දුන්නා.
ඔවුන් දෙදෙනාම සාකච්ඡා කරගත් පරිදි දරු ප්‍රසූතිය සඳහාත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමටත් කොළඹ ඉහළ පෙළේ පුද්ගලික රෝහලකට යාමටත් රටේ ප්‍රචලිත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමටත් තීරණය වුණා. පළමුව රෝහලට ගොස් වෛද්‍යවරයා හමුවූ ඔවුන් වෛද්‍යවරයාගේ උපදෙස් මත වරින් වර එහි ගොස් පරීක්ෂණවලටද භාජනය වී වෛද්‍ය උපදෙස් ලබා ගත්තා.
පසුදිනෙක සිදුකළ පරීක්ෂණයකදී වෛද්‍යවරිය යුවළට අපූරු පුවතක් හෙළි කළා.
"ඔයාලා හරි වාසනාවන්තයි. දරුවෝ තුන්දෙනෙක්ම ඉන්නවා.." වෛද්‍යවරයා කී විට සුමිත් හා සඳුනි ප්‍රීතියට පත් වුවත් තරමක බියක්ද ඔවුන්ට දැණූනා.
"ළමයි තුන්දෙනෙක්? මට අමාරු වෙයිද?"
පෙරටත් වඩා තම බිරිඳ ගැන විමසිලිමත් වූ සුමිත් සියලු කටයුතු නවතා ඇය සමඟ සිටියා. පාසලට ඇරලවීම මෙන්ම රැගෙන ඒමද ඔහු අතින් සිදුවුණා. තව මාස ගණනකින් තමා තිදරු පියෙකු බව සිතමින් ඔහු සතුටු වුණා.
වෛද්‍ය උපදෙස් මත පසුගිය අප්‍රේල් 8 වැනි දින ඇය දරු ප්‍රසුතිය සඳහා රෝහලේ නැවතුණා. පසුදින දරුවන් තිදෙනා ප්‍රසූත කළ ඇයට ඇති වූ සංකුලතා හේතුවෙන් තවත් පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. එම රෝහලේදීත් ඇයට සැත්කමක් කළ පසුව ඇය සඳහටම දෙනෙත් පියාගත්තා.
නිවුන් පිරිමි දරුවන් තිදෙනෙකු සඳුනි තමාවත් තනිකර මෙලොව හැරයාම පිළිබඳව සුමිත් පත්ව සිටියේ උන්මන්තක තත්ත්වයකටයි. කොරෝනා වසංගතය නිසා ඇගේ අවසන් කටයුතු ද ඉක්මනින් සිදු කළ යුතු වුණා.
පසුගිය 13 වැනිදා පූගොඩ ගිරිදරදී අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව වුවද සුමිත්ට කතා කර ගැනීමේ ශක්තිය පවා තිබුණේ නැහැ. ඔහු සිද්ධිය විස්තර කළේ මෙසේ යි.
"ඉස්සල්ලාම අපි පුද්ගලික රෝහලකට ගිහින් මේ වෛද්‍යවරයා හමුවුණා. පසුව අපි වෛද්‍යවරයා රෝහල් දෙකකදී හමුවී උපදෙස් ලබාගත්තා. සති තිස් හයෙන් විතර බාබාලව ගන්න පුළුවන් කියලා ඔහු කීවා. මාර්තු 10 තමයි අවසන් ස්කෑන් එක තිබුණේ. අප්‍රේල් 8 වැනිදා නවතින්න කියලා වෛද්‍යවරයා අපිට ලිපියක් ද නිකුත් කළා. අපි අටවැනිදා උදේ අටට ගෙදරින් ගියා. උදේම එයාම කෑම ඉව්වා. එයාට කිසිම අමාරුවක් වුණෙත් නෑ. වෙන ලෙඩක් තිබුණෙත් නෑ. වෛද්‍යවරයාගේ උපදෙස් මත නවතින්න ගියේ. පසුව රෝහලේදී ඇගේ රුධිර පීඩනය බැලුවා. එවිට ප්‍රෙෂර් වැඩි බව කියා බෙහෙත් බොන්නට දුන්නා. පසුව පැය දෙකෙන් දෙකට ඇවිත් ප්‍රෙෂර් බැලුවා. එය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා.."
"පසුව අපේ වෛද්‍යවරයාත් ආවා. ඒ අවස්ථාවේදීත් සඳුනිගේ පාද ඉදිමී තිබුණූ නිසා ඒ බව මම වෛද්‍යවරයාට පෙන්නුවා. පාන්දර තුනට සීසේරියන් සැත්කමට ගන්නවා කීවත්, පසුව දැනුම් දුන්නේ තවත් වෛද්‍යවරු දෙදෙනෙක් පසුවදා උදේ එනවා කියලා උදේ හතට ගන්නවා කිව්වා. උදේ හය වෙනකොට ලැහැස්ති වෙලා ඉන්න කිව්වා. රෝහලේ කාර්ය මණ්ඩලයවත්, වෛද්‍යවරුන්වත්, මගේ බිරිඳගේ පාද ඉදිමීම ගණන් ගත්තේ නෑ. හතට මුත්‍රා පරීක්ෂාවක් කළා. රෑ දහයට බෙහෙත් පෙත්තක් ගෙනත් දුන්නා. මම එවිටත් ඇහුවා දෙපා ඉදිමීමට බෙහෙතක් දෙනවද කියලා. නෑ ඒකට පස්සෙ කියලා කිව්වා. උදේ හයට බිරිඳව තියටර් එකට ගත්තා. උදේ හත වෙනකොට අපිට උපදෙස් දුන්න වෛද්‍යවරයාත් ආවා..."
"මම තියටර් එක අසළ සිටින විට 7.45ට විතර අපේ වෛද්‍යවරයා තියටර් එකෙන් එළියට ආවා. මම බිරිඳගේ තත්ත්වය විමසුවා. ඔහු කීවා කිසිම ප්‍රශ්නයක් නැති බව. ළමයෙකුගේ බර කිලෝ දෙකකට වඩා තියෙනවා කියලත් ඔහු කිව්වා. මට මෙතනම ඉන්න කීවා. නමුත් ඔහු තවත් කතාවක් කිව්වා, 'මුත්‍රා ප්‍රශ්නයක් නිසා වකුගඩුවලට වතුර එකතු වී තිබුණු නිසා මැහුම්වත් දැම්මේ නැති බවත්, නමුත් කිසිම ප්‍රශ්නයක් නැහැ' කියලත් කිව්වා. පසුව මට රෝහලින් දැනුම් දුන්නා වකුගඩුවල ජලය ඉවත් කරන යන්ත්‍රයක් එම රෝහලේ නැති නිසා එම යන්ත්‍රය තියෙන පුද්ගලික රෝහලකට ඇතුළත් කරන්න ඕනෑ කියලා පසුව එම රෝහලට බිරිඳව ඇතුළු කළා. පසුව එම වෛද්‍යවරයාව දකින්න ලැබුණේ නැහැ. පසුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට බිරිඳව දැම්මා. එහිදී වෛද්‍යවරු කිව්වා, අභ්‍යන්තර ලේ වහනයක් ඇති බව. බිරිඳගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෑ කියලා මට ලේඛනයකට අත්සන් කරන්න කිව්වා. මම ඒකත් කළා..."
"රෑ නවයට ආරම්භ කළ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම ඉවර වෙද්දි පාන්දර දෙක වුණා. බිරිඳව නැවතත් දැඩිසත්කාර ඒකකයට දැම්මා. පස්සේ කිව්වා තවත් අභ්‍යන්තර ලේ වහනයක් තියනවා. ඒකත් වහන්න සැත්කමක් කළ යුතුයි කියලා. මේ විදිහට කාලය ගෙවී ගියා. පහුවදා උදේ හතට විතර ඇගේ හෘදය නැවතුණා.."
මේ කතාව සුමිත් අපිට කීවේ වරින් වරයි. ඒ සඳහා ඔහුට බොහෝ වේලාවක් ගතවූයේ පියවි සිහියට එන්නට ඔහු තවමත් අසමත් වී සිටන බැවිනුයි. කතාව කියා ඉක්බිඳින්නට පෙර ඔහු ශෝකයෙන් කෑ ගැසුවා.
රෝහල් ගාස්තු ලෙස ඔහු රෝහල්-වලට ගෙවූ මුදල් රුපියල් ලක්ෂ 20 ඉක්මවා තිබුණා.
කෙසේ වෙතත්, සඳුනි ප්‍රසූත කළ දරුවන් තිදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධියක් හිමි ඇය කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටියා.
මියයනවිට 28 වැනි වියේ පසුවූ ඇය දරුවන් ප්‍රසූත කිරීමෙන් පසුව දරු තිදෙනා තුරුළු කරගෙන සිනහා සෙමින් සිටින ඡායාරූපයක්ද සුමිත් අපට පෙන්නුවා.
අලුත උපන් කිරිකැටියන් තිදෙනාට මව්සෙනෙහස සිහිනයක් බවට පත් කරමින්, සඳුනි විමර්ශිකා පීරිස් පසුගිය 13 වැනි දින අපෙන් සමුගෙන ගියා.
සටහන - දොම්පේ අජිත් මදුරප්පෙරුම
(ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනුමකි.)
Share This Article