කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත්, පැතිර යාමක් නැහැ
Friday, 17 April 2020 - 13:19 | Views - 6,361

අවදානම් කාලසීමාව පසුකරමින් සිටියද මේ වනතුරුත් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ තත්ත්වයකට පැමිණ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදීයි.
ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ අනුගමනය කළ අඛන්ඩ ක්‍රියාමාර්ග සහ මුල් අවස්ථාවේ සිට ආසාදිතයන් වෙන්කොට ප්‍රතිකාර කිරීම මෙන්ම සාර්ථක නිරෝධායන වැඩපිලිවෙල ඊට හේතු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
කොරෝනා ආසාදිත රෝගියෙකු ගුණසිංහපුර ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ ඔහු සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් 300 දෙනෙකු පමණ පිරිසක් මේ වනවිට වේල්ලවීථිය පොලිස් ස්ථානය ආසන්නයේ ස්ථානයක හුදෙකලා කර තිබෙනවා.
එලෙස වෙන්කර සිටි පිරිස අතර පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ රෝහල් ගතකර ඇති අතර, ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලෙන් පළාගොස් ඇති බවයි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ.
බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සියලූ දෙනා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයාට සහ පුතුන් දෙදෙනෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, බාල පුත්‍රයාගේ වාර්තාව මේ දක්වා ලැබී නැහැ. එමෙන්ම, ඇය සමඟ සමීප සබඳතා පැවැත් වූ 16 දෙනෙකු නාවික හමුදාව මගින් නිරෝධායනය සඳහා යොමුකිරීමට පියවර ගත් බවයි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ.
කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 238 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඉන් 68 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 163 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර, අද දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් 200 කට අධික පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ තවත් 220 දෙනෙකු අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වීමෙන් පසු නිවෙස් වෙත යෑමටද නියමිතව ඇති බවයි.
මේ අතර, ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 1,129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ගත වූ දින 28 ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,288 ක්.
එමෙන්ම, මෙම කාලසීමාව තුළ රථවාහන 7,770 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article