සියලු ප්‍රේමකතා අතරේ වඩා උත්තරීතර වන්නේ මවුපිය සෙනෙහස යැයි බොහෝ අය කියති. ඒ අතරින්ද ලොව පුරාම වැඩිපුුරම කවි ගී ලියැවී ඇත්තේත් නිබඳවම බුහුමනට ලක්වන්නේත් මවු සෙනෙහසය. පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි වුවද ඒ ගැන නිරන්තරයෙන් කතා නොකළද දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කළ පියවරු එදත් සිටියහ; අදත් සිටිති; අනාගතයේදීද සිටිනු ඇත. මේ, එහෙම පියකු ගැන කතාවකි. කෙනෙකුට ඔහු වීරයකු ද තවත් අයකුට කමකට නැති හිතුවක්කාරයකු ලෙස ද සිතිය හැකිය. නමුත් ඔහු පිය සෙනෙහස වෙනුවෙන් ජීවිතයේ ඉහළම හිතුවක්කාරකම කළ දයාබරම පියකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මේ ඔහුගේ කතාවයි.
සේපාල ඒකනායක... ඒ නම මුල් වරට ප්‍රසිද්ධ වන්නේ මීට වසර 38කට පමණ පෙරය. හරියටම කිවහොත් 1982 ජූනි මාසයේ 30 වැනිදා උඩු ගුවනේදී ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගනිමින් ඔහු ලොව පුරා ප්‍රකට විය.
ඉන්දියන් සයුරේ කඳුළු බිඳුවක හැඩය ගත් පුංචි ලක් දිවයිනේ පුංචි මිනිසකු එවැනි හපන්කමක් කළේ කෙසේද යන්න පිළිබඳව එදා බොහෝ දෙනකු පුදුම වූහ. ඒ ගැන කතාබහ කළහ. ඒ සමඟම ඔහුගේ වතගොත ද ලොව පුරා පැතිර ගියේය.
සේපාල ඒකනායක උපන්නේ මාතර හක්මන කරතොට නම් ග්රාමයේය. ඒ, 1949 අප්‍රේල් මස 17 වැනිදාය. දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක මද්දුමයා වූ ඔහුට කුඩාකලදී මවු සෙනෙහස අහිමි වන්නේ මවගේ අකල් වියෝව නිසාය. පියා නැවත විවාහයක් කරගැනීමෙන් පසු අලුතින් දරුවන් එක්වීමත් සමඟ පවුල කෙමෙන් විශාල වද්දී පුංචි සේපාලට පාළුවක් හුදකලාවක් දැනුණා විය හැකිය. ඒ නිසාම හිතුවක්කාරකම් දඩබ්බරකම් ද ඔහුගේ ජීවිතය සමඟ බද්ධ වන්නට විය.
තුන්වැනි පන්තිය දක්වා කරතොට විද්‍යාලයෙන් ද ඉන්පසු හත්වැනි පන්තිය දක්වා හෙට්ටියාවල මහා විද්‍යාලයෙන් ද ඉගෙනුම ලැබූ සේපාල අ.පො.ස (සාමාන්‍යපෙළ ) විභාගයට පෙනී සිටින්නේ තිස්සමහාරාමයේ යෝධකණ්ඩිය මහා විද්‍යාලයෙනි. එහෙත් පොතපත ගැන එතරම් ඇල්මක් සේපාලගේ සිතේ නොවීය. ඔහුට අවැසි වූයේ ගමෙන් පිටවී සිදාදියට එන්නටය.
ඒ අනුව මාතරට පැමිණි සේපාල විසි වැනි විය දක්වාම ගතකළේ එක් එක් දේවල් උගනිමිනි. ඉංග්‍රීසි භාෂාව ද ඒ අතර විය. එහෙත් රැකියාවක් කිරීමේ කැමැත්තක් ඔහු සිතේ නොවීය.
සේපාලගේ දෛවය වෙනස් කළේ ඉතාලි ගමනයි
ඔහුගේ සිත නිතර ප්‍රිය කළේ වෙනස් දේවල් කරන්නටය. එසේ සරුංගලයක් මෙන් ඔහේ පාවෙමින් තිබූ ඔහුගේ ජීවිතයට එක්තරා අරමුණක් හමුවන්නේ 1972දීය. ඒ මිතුරකු මාර් ගයෙන් ජර්මනියට යන්නට මඟ පෑදීමත් සමඟය.
එකල විදෙස් රටකට යෑම එතරම් අසීරු නොවූ අතර වීසා ද අවශ්‍ය නොවීය. ඒ නිසාම සේපාලට පහසුවෙන්ම ජර්මනියට යෑමට අවස්ථාව උදා විය. අවශ්‍ය වූ ගුවන් ටිකට් පතේ මිල ද රුපියල් 3000ක් වූ අතර එය ද සේපාලගේ මිතුරා විසින්ම ඔහුට සපයා දී තිබිණ. ජර්මනියේදී කලින් කලට රැකියා කිහිපයක නිරත වූ සේපාල වසර තුනකට පමණ පසු ඉතාලිය බලා පිටත්ව යන්නේ ඒ වන විට ඔහු එකතු කරගෙන තිබූ මුදල්වලිනි.
සේපාල ඒකනායකගේ දෛවය වෙනස් කළේ ඒ ඉතාලි ගමනය. කඩවසම් තරුණයකු වූ සේපාල කෙළිලොල් සරල පුදගලයකු විය. මිතුරු හමු ඔහුගේ ජීවිතයට ආගන්තුක නොවීය. එවැනි මිතුරු හමුවකදී ඔහුට සිය අනාගත බිරිඳ හමුවිය. ඒ 1977 වසරේදී ය. ඉතාලි ජාතික යුවතියක වූ ඇය නමින් අන්නා ඇල්ද්‍රොවන්දි ය. ඉතාලි රුවැත්තිය සිය ජීවන සහකාරිය කරගැනීම සේපාලගේ බලාපොරොත්තුව විය.
සිය දියණිය ශ්‍රී ලාංකිකයකු හා විවාහ වනවාට අන්නාගේ මවුපියන්ද විරුධත්වයක් නොදැක්වූයේ එරට පැවති නිදහස් සංස්කෘතිය නිසාය. හිතුවක්කාරයකු වූ සේපාලට ද සිය විවාහය ගැන තනි තීරණයක් ගන්නට කිසිදු බාධාවක් නොතිබිණ.
ඒ අනුව 1978 සීතල දෙසැම්බරයේ දවසකදී ඔවුහු ඉතාලියේ මෝදෙනා නගරයේ කස්තෙල්ෆරන්කෝ නගර සභාවේදී නිත්‍යානුකූලව විවාහ දිවියට ඇතුළු වූහ. විවාහ දිවියේ සුන්දරම ඵලය ලෙස 1979 වසරේදී අන්නා මවු පදවිය ලැබුවේ සුරතල් පුත් රුවනක් සමඟ පිය පදවිය සේපාලට තිළිණ කරමිනි.
සේපාල සිය පුතුට ෆ්‍රී ඒකනායක ලෙස නම් තැබුවේ ජීවිතය පුරා තමා විඳි නිදහස සිහිකරමින් විය හැකිය. එතැන් සිට සේපාලට පුතු ෆ්‍රී ගෙන් තොර ලෝකයක් නොවීය. එපමණටම ඔහු සිය පුංචි පුතුට ආදරය කළේය.
එහෙත් ජීවිතය සේපාල සිතූ තරම් සුන්දර නොවීය. කල්යත්ම ඔහුත් අන්නාත් තුළ පැවති වෙනස් සිතුම් පැතුම් නිසා විවාහ දිවිය ද නීරස වන්නට පටන් ගැණින. ඔවුනොවුන් අතර පෙර පැවති සෙනෙහස සහ ආකර්ෂණය කෙමෙන් වියැකී යද්දී අන්නාගෙන් දුරස් වූ සේපාලගේ සිත වැඩිපුර බැඳුණේ පුතු ෆ්‍රී කෙරෙහිය. එම නිසාම අන්නා සහ ඔහු අතර දුරස් බවක් වීද සිය බිරියත් ප්‍රාණ සම දරුවාත් අත්හැර දමන්නට සේපාල කිසිවිටෙකත් නොසිතුවේය
අන්නා විවාහ කරගැනීමෙන් පසු සේපාලට ඉතාලි පුරවැසිකම ලැබුණු අතර ඒ බව සනාථ කරන ලියවිල්ල වූයේ පුරවැසි කාඩ්පතය. එම කාඩ් පත වසර 5ක් අඛණ්ඩව වසරින් වසර අලුත් කළ යුතු විය. වසර හතරක් අඛණ්ඩව සිය පුරවැසි කාඩ්පත අලුත් කරගත් සේපාලට පස්වැනි වසරේදී මුහුණ දෙන්නට වූයේ ඔහු නොසිතූ විරූ ප්රශ්නයකටය. ඉතාලි තානාපති කාර්යාලය සේපාලට පැවසුවේ අවසන් වසර සඳහා කාඩ්පත අලුත් කිරීමට ඔහු පැරණි කාඩ්පත ලබානොදුන් බවය.
එහෙත් තමා එම කාඩ්පත ඔවුන්ට බාරදුන් බව සේපාල පුන පුනා පැවසුවද ඔවුන් පැවසුවේ ඔවුන් ළඟ ඔහුගේ පැරණි කාඩ්පත නැති බවත් ලංකාවට ගොස් කාඩ්පතක් ලබාගන්නා ලෙසත්ය.
නමුත් මවුරට පැමිණ කොළඹ තානාපති කාර්යාලයට ගොස් ඒ පිළිබඳ විමසූ සේපාලට ලැබුණු පිළිතුර කාඩ්පත බාර දුන් තැනින්ම එය ලබාගන්නා ලෙසයි. නැවත පෙරළා ඉතාලියට ගොස් මාස දෙක තුනක් පමණ උත්සාහ කළද සේපාලට පුරවැසි කාඩ්පත හිමිවූයේ නැත. ඉතාලියේ ජීවත් වීමටත් රැකියාවක් කිරීමටත් එම අවසර පත තිබිය යුතුමය. ඉතාලි තානාපති කාර්යාලය දිගින් දිගටම එම කාඩ් පත මවුරටින් ලබාගන්නැයි සේපාලට පැවසූ නිසා ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුතු ෆ්‍රී සහ බිරිය අන්නා ද කැටිවය.
එහෙත් මවුරටේදී ද සේපාලට කිසිදු සහායක් ලැබෙන්නේ නැත. දින ගණනාවක් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ගියද කාඩ්පත නොලැබුණා පමණක් නොව එහි සිටි නිලධාරීන්ගේ උසුළුවිසුළුවලටද ලක්වන්නට ඔහුට සිදුවිය.
ඒ නිසාම තානාපති කාර්යාලයේ නිලධාරියකු සමඟ බහින්බස්වී ඔහු සමඟ ආරවුලක පැටලෙන සේපාල වියවුල් සිතින් බිරියත් දරුවාත් නතර කර සිටි වැලිගම හෝටලයට පැමිණෙද්දී ඔවුන් දෙදෙනා ද අතුරුදන් වී සිටියහ.
දැනගත් තොරතුරු අනුව සේපාල වහා ඔවුන් සොයා කටුනායක ගුවන්තොටුපලට පැමිණයද ඒ වන විටත් අන්නා පුතු සමඟ ඉතාලියට පිටත්ව ගොස් තිබිණ.
පුරවැසි කාඩ්පත අහිමි වීමටත් වඩා ශෝකයක් සේපාලගේ සිතේ අරක් ගත්තේ ඉන් පසුවය. සුරතල් පුතු ෆ්‍රී ගෙන් වෙන්වීම සේපාලට දැරිය නොහැකි වේදනාවක් විය. ඔහු බිඳුණු සිතින්ම යළිත් තානාපති කාර්යාලට ගොස් අවසර පත ඉල්ලා සිටියද පෙර කී නිලධාරියා ඔහුට අභියෝග කළේ හැකිනම් කාඩ්පත ගන්නා ලෙසටය. සිතේ වූ වේදනාවත් කෝපයත් හේතුවෙන් උපන් ආවේගය නිසා සේපාලද ඒ අභියෝගය බාරගත්තේ "සති දෙකකින් මම ඒක ගන්නවා "යැයි සපථ කරමිනි.
ඉතාලි පුරවැසි කාඩ්පත නැතිවීම බොහෝ කරදර වලට මුලයි
ආවේගයට නිලධාරියා හමුවේ එවැනි අභියෝගයක් කළද එ වන විට එවැන්නක් ගැන කිසිදු අදහසක් ඔහුගේ සිතේ නොවීය. එහෙත් කල්පනා කරමින් සිටි සේපාලගේ සිතට එක්වරම පිවිසි අදහස ගුවන් යානයක් පැහැර ගැනීමයි.
චිත්‍රපට ලෝලියකුද වූ සේපාල එවැනි ගුවන්යායා හයිජැක් කරන චිත්‍රපට ඕනෑතරම් නරඹා තිබිණ. ඒවා නරඹන විට කෙදිනක හෝ තමාටත් එවැන්නක් කිරීමට සිදුවේයැයි ඔහු සිහිනෙනුදු නොසිතුවද දැන් තමාට කරන්නට ඇත්තේ එයම පමණක් යැයි සේපාලට සිතිණ. ඒ අනුව ඔහු තම අදහස ක්‍රියාවට නංවන්නට යුහුසුළු විය.
1982 ජූනි මස 15 වෙනිදා මෙරට සිට ඉන්දියාවේ තමිල්නාඩුව හරහා නව දිල්ලි නගරයට ගිය සේපාල දින 10ක් එහි නගරයේ රැදී සිටිමින් පැහැර ගැනීමට ගුවන් යානයක් සෙවීය. අවසානයේ ඔහුගේ ඉලක්කය වූයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට ජපානය බලා ගිය අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර් ගයේ ගුවන් යානයකි.
සේපාල ජුනි 30 වැනි දින දිල්ලි ගුවන්තොටුපලින් එම ගුවන් යානයට නැග්ගේය. තට්ටු දෙකේ ජම්බෝ ජෙට් වර්ගයේ ගුවන් යානයක් වූ එහි මගීන් 261ක් වූහ. ගුවන් යානය පැහැර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බව සේපාල දැන සිටියේය. හැරත් චිත්‍රපටවල දැක තිබූ ආකාරයට ආයුධ පෙන්වා නියමුවන්ට වෙඩිතබා හෝ හිරිහැර කර ගුවන් යානාව පැහැර ගැනීමට ද ඔහු කැමති නොවීය.
නිතරම අලුත් සහ වෙනස් දේවල් කිරීමට කැමැත්තක් දැක්වූ ඔහු ඒ සඳහා නව මඟක් කල්පනා කළේය.
" මම පයිලට්ට ලියුමක් ලිව්වා. ඒකෙ මට මුහුණ දෙන්න වුණු දේවල්, මගේ ඉල්ලීම් ඔක්කොම ලිව්වා.
පළමුවෙනි ඉල්ලීම වුණේ ගුවන් යානය තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළට ගොඩ බැස්සවිය යුතු බවයි. ඒ ගුවන්තොටුපළට මගේ බිරිඳ සහ දරුවාත් ගෙන ආ යුතු බවත් මට ඩොලර් 300 000ක කප්පම් මුදලක් අවශ්‍ය බවත් ලිව්වා. ඒ හැරුණාම බැංකොක් ගුවන් තොටුපළේදී ගොඩ බැස්වූ පසු ගුවන් යානයේ සියලුම දොරවල් වසා තැබිය යුතු බවත් මගේ ඉල්ලීම් සියල්ල බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත ඉක්මනින් දැනුම් දිය යුතු බවත් සඳහන් කළා.
ඒ සියලුම සන්නිවේදනයන් සිදුවිය යුත්තේ රේඩියෝ මාර්ගයෙන් පමණක් බවත් දැනට මා සතුව ඉතාලියේ නිෂ්පාදනය කළ නවීන බෝම්බ තිබෙන බවත් මුළාවට ලක් කළොත් ගුවන් යානය ඇතුළත, ඉතාලියේ මොදෙනා නගරයේ හා තවත් නගරයක බෝම්බ පිපිරීම් සිදුවනු ඇති බවත් ලිව්වා. මම ඒ ලියුම ලියද්දිත් යානය තිබුණෙ අඩි 35000ක් විතර උඩ.
පුතු ෆ්‍රී ගෙන් වෙන්වීම සේපාලට දැරිය නොහැකි වේදනාවක්
මගේ ලියුම දැකපු ගමන් ගුවන් නියමුවා ගුවන් යානය අඩි 25000ක උසකට ගෙනැල්ලා මගේ අදහසකට එකඟ වුණා"
සේපාල වරක් මාධ්‍යයට එම සිදුවීම සිහිකර තිබුණේ එලෙසය. සිය ඉල්ලීම අනුව බැංකොක්වලට ගොඩ බස්වනු ලැබූ යානය සිය පාලනයට ගත් සේපාල ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ඇමතුමක් දී තමා අපහසුතාවට පත් කළ නිලධාරියා අමතා සිය බිරිය සහ දරුවා වහාම තමාට ලබාදීමට කටයුතු කරන ලෙස දැන්වීය.
එතැන් සිය සියල්ල සේපාල සිතූ පරිදිම සිදුවිය.
පැය 30කට පමණ පසු අන්නා සහ පුතු ෆ්‍රී සේපාල වෙත බාරදෙනු ලැබිණ. ඒ සමඟ සේපාල ඉල්ලූ මුදල්ද ඔහුට ලැබිණ. එහෙත් බිරිඳ සහ දරුවා රැගෙන තමා යළි ජීවිතය ආරම්භ කරන්නේ කොහේද යන ප්රශ්නය සේපාල ඉදිරියේ විය. එවකට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කළ මානෙල් අබේසේකර මහත්මිය ඔහුට කිසිදු බලපෑමකින් තොරව එදින රාත්‍රියේම මවුබිමට යෑමට අවස්ථාව සලසා දුන්නාය.
එතැන් සිට සේපාල ඒකනායක වීරයකු විය. ගුවන්තොටුපලේදී ඔහු පිළිගැනුණේ මහත් හරසරිනි.
ගුවන් යානයක් පැහැරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස පුවත්පත් ද සේපාලට නම්බු නාම ලබාදුන්හ.
සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ දින දෙක තුනක් සියලු පහසුකම් සහිතව සේපාලගේ පුංචි පවුලට නවාතැන්ද ලැබිණ. ඉන්පසුව සේපාල සතුටින් උදම් වූ හදවතින් පුතු ෆ්‍රී ළයට තුරුළු කරගෙන තම උපන් ගම වූ මාතරට යෑමට පිටත් වුවද ඒ සොම්නස විඳ ගැනීමට ඔහුට නොලැබිණ.
සිය ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක බාර දෙන ලෙස ඉතාලි රජය විසින් කරනු ලැබූ බලපෑම් හමුවේ ශ්‍රී ලංකා රජයද පත්ව සිටියේ දැඩි අසීරු තත්ත්වයකටය.
ඊට හේතුව සේපාල අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට මෙරට නීතියේ නොවීමයි. එම නිසා ඒ වෙනුවෙන් නව නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ අතර ලාංකේය නීති ඉතිහාසය තුළ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය එය බව වාර්තා වේ. ඒ අනුව ගාල්ල පොලීසිය විසින් සේපාල අත්අඩංගුවට ගන්නා අතර ඔහුගේ බිරිඳ සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර් යාලය කටයුතු කර තිබිණ. එම නඩුව ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියේය.
සේපාල විසින් පැහැරගත් යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා ද සාක්ෂි සඳහා මෙරටට පැමිණි අතර නඩු විභාගය අවසන් වූයේ සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවමක් හිමිකර දෙමිනි. ඒ අනුව තමා වෙනුවෙන්ම සෑදූ අලුත්ම නීතියක් යටතේ සේපාල සිරගත වූ අතර සිරගෙදර සිටි කාලයේදීම ඔහු අන්නා විසින් ඉල්ලූ දික්කසාදය ඇයට ලබාදීමට ද කාරුණික විය. සිය පුතු ෆ්‍රී ගෙන් ඈත්වීමෙන් උපන් වේදනාව මඟහැර ගැනීමට සේපාල සිරගෙදරදී නාට්‍ය නිෂ්පාදනය කළ අතර ඒවා සිරකරුවන් අතර ජනප්‍රිය විය.
අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය සේපාල වෙනුවෙන්මයි
1987 වසරේදී ඔහුට නිදහස හිමි වූ අතර ඉන්පසු ඔහු සිය ජීවිතය අලුතින් ආරම්භ කිරීමට අදිටන් කරගන්නේය. " හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ මම ගොඩක් රැකියා කළා. නුවරඑළියෙ ටුවරිසම්, සෆාරි කළා. ඊට පස්සෙ කාලයක් බීජ අර්තාපල් ගෙන්නුවා.
දැන් ජර්මනියෙන්, ඉතාලියෙන් මැෂිනරි කොටස් ගෙන්වනවා. මම 1990දී නැවත විවාහ වුණා. ඇය යසංගනී වෘත්තියෙන් ගුරුවරියක්.
ඒ වගේම මම කාලයක් තිස්සෙ දැනගෙන හිටපු කෙනෙක්. අපිට දියණියක් සහ පුතෙක් ඉන්නවා. මගේ ලොකු පුතා ෆ්‍රී සහ ඔවුන් එකතුයි. මට ඒක ලොකු සතුටක්.
ඔහු කියන්නේ පිය සෙනෙහස නිසාවෙන් තෙත් වූ හදවතිනි. හිරෙන් නිදහස් වූ සේපාලට පළමු වරට සිය පුතු ෆ්‍රී හමුවන්නේ වසර 16කට පසුවය.
ඒ වන විටත් සේපාලගේ ඉතාලි මිතුරකුගෙන් ෆ්‍රී තම පියා ගැන කතාව දැන සිටියේය.
තමා වෙනුවෙන් ගුවන් යානයක් පැහැර ගැනීමට තරම් හිතුවක්කාරයකු සහ ආදරණීයයකු වූ පියා ගැන ෆ්රීගේ සිතේද එවැනිම ආදරයක් ඇතිවාට සැක නැත. ඒ හමුවීම නිසා ෆ්‍රී අදටත් සිය පියාටත් ඔහුගේ පවුලේ අයටත් ළෙන්ගතුය. මේ වන විට විවාහ වී සිටින ෆ්‍රී ඉතාලියේ ජීවත් වේ.
දැන් සේපාල පෙර මෙන් හිතුවක්කාරයකු නොවේ. කාලය සහ අත්දැකීම් තුළින් ඔහු ජීවිතය අලුතින් ඉගෙන ගත්තේය. කලක් නාට්‍ය කලාව සහ දේශපාලන ක්ෂේත්රය තුළද ඔහු කැපී පෙනෙන්නට වූ අතර කෘතියක්ද එළිදැක්වීය.
ව්‍යාපාරියකු ලෙස සිය පවුල සමඟ නිහඬ නිස්කලංක ජීවිතයක් ගතකරන සේපාල අතීත සිදුවීම් ගැන නිතර කතාකිරීමට ප්‍රිය නොකරයි.
එහෙත් වසර 38කට පෙර උඩු ගුවනේදී ඔහු පිය සෙනෙහස අරුත් ගැන්වූ අයුරු තවත් කාලයකට ලෝකයාට අමතක නොවනු ඇත. ගුවන් යානයක් පැහැරගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රී ලාංකිකයන්ටද ඔහු ගැන මතකය එලෙසම පවතිනු ඇත.
සුරේකා නිල්මිණි ඉලංගකෝන්
සිළුමිණ
