චීන තානාපති කාර්යාල ගිණුම වැසුණේ තාක්ෂණික දෝෂයකින් - ට්විටර් කියයි - දෙබිඩි පිළිවෙත් එපා
අවහිර කරනු ලැබූ මෙරට චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමට යලි පිවිසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඊයේ හේතුවක් නොදන්වා මෙම ගිණුම අවහිර කිරීමට ටිවිටර් සමාගම කටයුතු කර තිබූ බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
එම ගිණුම නැවත ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ද කර තිබූ අතර අද උදෑසන එම අවහිරතාවය ඉවත් කර තිබෙනවා.
අනතුරුව එම ගිණුමට පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහන් කළේ මෙය තාක්ෂණික දෝෂයක් බව ට්විටර් සමාගම දැනුම් දුන් බවයි.
එමෙන්ම, එම පද්ධති දෝෂය සම්බන්ධයෙන් ට්විටර් සමාගම කණගාටුව පළ කර තිබෙනවා.
කෙසේ නමුත් එවැනි පද්ධති දෝෂ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව පැවසූ කොළඹ චීන තානාපති කාර්යාලය කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සැමවිටම ඉඩ පැවතිය යුතු බවයි.
එමෙන්ම, සමාජ මාධ්‍ය පදනමකින් තොර වර්ගවාදී සහ වෛරී ප්‍රකාශ පැතිරවීම සඳහා අවභාවිත නොකළ යුතු අතර, දෙබිඩි පිළිවෙතකින් කටයුතු නොකළ යුතු බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.