ආහාර අර්බුදයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇගවීමක්
Sunday, 12 April 2020 - 17:54 | Views - 1,418
කොරෝනා වසංගතය හමුවේ ගෝලීය වශයෙන් ව්‍යාපාර හා රටවල් වසා දැමීම නිසා ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.
ඒ, සැපයුම් දාමයට තර්ජන මතුවීම සහ ආහාර පිළිබඳ අනාරක්ෂිත බව ඉහළ යාම හේතුවෙන්.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ සුපිරි වෙළදසැල් සතුව දැනටමත් ආහාර ද්‍රව්‍ය ගබඩා පවතින බවයි.
කෙසේ වෙතත්, දිග්ගැස්සෙමින් පවතින කොරෝනා වසංගතය හමුවේ ගොවීන්, කෘෂිකාර්මික යෙදවුම්, වගා කිරීම්, නැව් ගත කිරීම්, වෙළදාම් කිරීම ඇතුළු ආහාර සැපයුම් ජාලයට සිදුව ඇති බලපෑම හමුවේ ආහාර අර්බුදයක් ඇති විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
දේශසීමා වසා දැමීම්, සීමා කිරීම් සහ නැව්ගත කිරීම් මෙන්ම ගුවන් ගමන්වලට ඇති වූ බාධාවන් හමුවේ ආහාර නිෂ්පාදනය සහ භාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය දුෂ්කර වී තිබෙනවා.
ගෝලීය ආහාර සැපයුමෙහි ඉහළ යමින් පවතින අස්ථාවරත්වය දිළිඳු රටවලට දැඩි ලෙස බලපානු ඇති බවට ලෝක ආහාර සුරක්ෂිතතාවය පිළිබද එක්සත් ජාතීන්ගේ කමිටුව ද පසුගිය මාර්තු මාසයේදී අනතුරු අගවනු ලැබුවා.
Share This Article