සැප්තැම්බරය වනවිට කොවිඩ් 19 එන්නතක් නිපදවන ලකුණු
Sunday, 12 April 2020 - 9:57 | Views - 2,631

කොවිඩ් 19 වැළැක්වීමේ සාර්ථක එන්නතක් මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට නිෂ්පාදනය කළ හැකිවනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක පවසනවා.
එහි එන්නත්කරණ පිළිබඳ මහාචාර්යවරිය වන සාරා ගිල්බර්ට් කියා සිටියේ සිය කණ්ඩායම මගින් එලෙස කොවිඩ් 19 එන්නතක් නිපදවීමට හැකිවනු ඇති බවට තමාට 80%ක විශ්වාසයක් පවතින බවයි.
මේ වනවිට ලොව පුරා ජීවිත එක්ලක්ෂ 9,000ක් පමණ බිලිගෙන ඇති කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයන් ප්‍රයත්නයක නිරත වන අතර, මහාචාර්ය සාරා ගිල්බර්ට්ගේ කණ්ඩායම ඒ අතරෙන් ප්‍රමුඛයි.
සියල්ල සාර්ථකව සිදුවුවහොත් කොවිඩ් එන්නතක් නිපදවීම ගැටළුවක් නොවූවද එය ක්‍රියා කරන ආකාරය ගැන මෙතෙක් කිසිවෙකුට සහතිකයක් ලබාදිය නොහැකි බව ඇය සඳහන් කළා.
බ්‍රිතාන්‍යය කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමේ ජාත්‍යන්තර අරමුදලට පවුම් මිලියන 210ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ කණ්ඩායම හැරුණුකොට අනෙකුත් වෛද්‍ය විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ කොවිඞ් 19 එන්නත නිපදවීම සඳහා තවත් වසරක් පමණ ගතවනු ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වනවිට 9,875 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනයේ තවත් මරණ 917ක් එරට රෝහල්වලින් වාර්තා වීමත් සමඟයි.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
කෙසේ නමුත්, පූර්ණ සුවය ලැබීමට ඔහු විවේක ගත යුතු බවයි බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රීටි පටේල් සඳහන් කළේ.
Share This Article