කොරෝනා මිනී වැළලුවොත් ඊළඟ වසංගතය පොළව බිඳගෙන එනවා
Saturday, 11 April 2020 - 11:50 | Views - 3,475

"කොවිඩ් 19 රෝගය උත්සන්න වීම හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේ පරිපාටිය සම්බන්ධව සමාජය තුළ විවිධ අදහස් සංවාදයට භාජන වෙමින් තිබේ. විවිධ සංස්කෘතික කාරණා ඉවහල් කර ගැනීම හේතුවෙන් ප්රශ්නය ව්‍යාකූල වන බවක්ද දක්නට ඇත. එබැවින් මේ සම්බන්ධව වඩා නිවැරදි විද්‍යාත්මක පදනමක පිහිටා තීන්දු තීරණ ගැනීම ජන ජීවිතයේ සුරක්ෂිතභාවය රැක ගැනීමේදී අතිශය වැදගත් වේ.
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේ විද්‍යාත්මක පදනම කෙසේ විය යුතුද යන ප්රශ්නය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට ඉදිරිපත් කළෙමු. ඇය විසින් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය.
ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයක් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරයක් මිහිදන් කිරීම නිසා සුසාන භූමිවල පස දූෂණය වීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර තත්ත්වයක් උද්ගත විය හැකිද?
සුසාන භූමි වනාහි භූගත ජල මූලාශ්රවල ගුණාත්මකභාවය හීන කරමින් විශාල ලෙසින් දූෂක ජල මූලාශ්‍රවලට එක්කරන ජල දූෂක ප්‍රභවයක් ලෙස හඳුනාගත හැකි බව නොයෙක් රටවල සිදුකරන ලද විද්‍යාත්මක නිරීක්ෂණයන් මඟින් පෙන්වා දී ඇත. රසායනික අයන හා සංයෝග මෙන්ම බැක්ටීරියා හා වයිරසද එම සුසාන භූමි තුළ මිහිදන් කෙරෙන මෘත දේහ දිරාපත් වීමෙන් පරිසරයට නිදහස් වන බවත් පැහැදිලිය. බහුලව ගත්කල මෙම බැක්ටීරියා සහ වයිරස ශරීරවල ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන්නවුන් බවද දැකිය හැකිය.
බැක්ටීරියා හෝ වයිරස ජල මූලාශ්‍ර ඔස්සේ ගංගා, ඇළ, ෙදාළ, ළිං ආදිය සමඟ මිශ්‍ර වී දීර්ඝ කාලයක් පැවැතීමේ සම්භාවිතාවක් තිබේද?
දැනට හඳුනාගෙන ඇති ආකාරයට මෘත ශරීරයක් මිහිදන් කළ පසු එය ජීර්ණය වීමේදී ශරීර බර කිලෝග්‍රෑම් 1කින් අපජලය ලීටර් භාගයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් වන බව කියැවේ. එහෙත් මෙම අගය පාරිසරික සාධක මත එනම් වැඩි උෂ්ණත්ව හා වැඩි වර්ෂාපතන තත්ත්වයන් මත මීට වඩා වෙනස් වීමේ හැකියාව පවතී. ශරීර ස්කන්ධය දිරාපත් වීමේදී එකතු වන රසායනික අයන හා සංයෝග අතර ද්‍රාව්‍ය කාබන්, නයිට්රේට්, පොස්පේට්, ක්ලෝරයිඩ් ආදිය බහුල වශයෙන් පරිසරයට නිදහස් වේ. මීට අමතරව භාවිත කරන ලද ඖෂධ ආදිය ද පරිසරයට එක් වේ. සමහර ඖෂධ බිඳී යෑමේ ප්‍රවණතාව දීර්ඝකාලීන නම් එවැනි ඖෂධ පවා මෘතදේහ මඟින් අපජලයට එක්වීමේ හැකියාව පවතී. එවැනි අවස්ථාවක මෙම අපජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම Chemical Oxygen demand) හා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (Bochemical Oxygen demand) අගයන් ඉතා ඉහළ යයි. මෘත දේහ විශාල ප්‍රමාණයක් එකවර මිහිදන් කරන අවස්ථාවලදී මෙවන් තත්ත්ව උදාවී ඇති බැව් පර්යේෂණ වාර්තා බොහෝමයක සඳහන්ය.
ජල මූලාශ්‍ර සමඟ පරිවහනය වී ළිංවලට වයිරසය කාන්දු වී ඇති බව විද්‍යාත්මකව තහවුරු වී තිබේද?
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. නෙදර්ලන්තයේ අපජලයේ වයිරසය හමුවී ඇති බව සඳහන් වාර්තාවක් මා දුටුවා. කොහොම වුණත් සුසාන භූමි මඟින් නිකුත් වන අපජලය සමඟ වයිරසය ප්‍රවාහනය වී ළිංවලට එක්වී ඇති බව දැනට පළවී ඇති විද්‍යාත්මක පත්‍රිකාවල පෙන්වා දී ඇත. මෙසේ පරිවහනය වීමට නොයෙකුත් හේතු බලපායි. පසෙහි දූෂක ප්‍රවාහනය ඉක්මන් වීම සඳහා බලපාන සාධක අතර අධික වර්ෂාපතනය ප්‍රධාන වේ. මීට අමතරව පසේ ස්වභාවය එනම් වැලි මිශ්‍ර පසක්ද මැටි සහිත පසක්ද යන්න මතද ප්‍රවාහන ශීඝ්‍රතාව රදා පවතී. අධික ලෙස ජලය පොම්ප කරන ළිං ආසන්නයේ ඇත්නම් එවිටද ප්‍රවාහන ශීඝ්‍රතාව වැඩි වේ. භූගෝලීය පිහිටීමද මේ සඳහා බලපායි. වර්ෂාපතනය අධික නම් පාංශු ජිද්‍ර අවකාශ ප්‍රමාණය වැඩි නම් යළිදු ඉක්මන් ජල පරිවහනයක් දැකිය හැකිය.
කොවිඩ් 19 වැලඳුණු රෝගීන්ගේ මෘත දේහ මිහිදන් කළ සුසාන භූමියක කොරෝනා වයිරස පැවැතිය හැකි නිශ්චිත කාල සීමාවක් සහතික වී තිබේද?
දැනට සිදුකෙරී ඇති විද්‍යාත්මක පර්යේෂණ ගවේෂණය කරද්දී හමුවූ පත්‍රිකාවක සඳහන් අන්දමට හොංකොංහි 2003 වසරේ හමුවූ සාර්ස් නම් වූ කොරෝනා වයිරසය විවිධ මාර්ග ඔස්සේ සංක්‍රමණය වන බව පැහැදිලි කර ඇත. එහි සඳහන් කර ඇති ආකාරයට සත්ත්වයන්ගෙන් හමුවන කොරෝනා වයිරසය ජලයේ සහ අපවහනවල වසරක් වැනි කාලයක් පැවැතිය හැකිය. එසේම සලාද කොළවල පෘෂ්ඨයන්ට එක්වූ කල කොරෝනා වයිරසය ඒ මත දින 14ක් පමණ පැවැතිය හැකි බව සඳහන් වේ.
එබැවින් අප තවමත් හරිහැටි නොදන්නා කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් 19 ගැන පිළිබඳව අවතක්සේරුවක සිටීම ඉතාමත් භයානකය. එබැවින් මේ දිනවල එළවළු, පලතුරු පරිහරණයේදී පවා ප්‍රවේශම් විය යුතුය.
ශීතකරණ තත්ත්වයන්හිදී ද සාර්ස් වයිරසය දින 30ක් ගතවනතුරුත් ක්‍රියාකාරි විය. එබැවින් වයිරසය ආසාදනය වූවන්ගේ අපද්‍රව්‍ය බැහැර කරලීමේදී අධික උෂ්ණත්වවල දහනය කිරීම අත්‍යවශ්‍යය.
කොවිඩ් 19 රෝගීන්ගේ මෘතදේහ භූමිදාන කිරීමට තීරණය කළොත් එය ඉතාමත් අනුවණ අවදානම් ක්‍රියාවක් බවද ඔබේ නිගමනය වන්නේ?
ඇත්ත වශයෙන්ම ඊට මා දෙන පිළිතුර ඔව් යන්නයි. වයිරස් ආසාදිත ශරීර මිහිදන් කිරීම අතිශය භයානකයි. මෙහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේදී අපගේ සුළු නොසැලකිල්ල අනාගතයේ නැවත වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට පවා හේතුවිය හැකියි.
වයිරසයන්ගේ බිහිසුණු බව රැඳී පවතින්නේ වෙනස් වීම (mutate) සඳහා ඒවාට ඇති හැකියාව හේතුවෙනි. මේ අවස්ථාවේ අප කළයුතු වන්නේ මෙම වසංගත තත්ත්වයෙන් මිදීම පිණිස සියලු වීර්යයන් දැරීමය. වයිරසය නව ස්වරූපයකින් මතුවීමට ඉඩ ඇති බැවින් වයිරසය සිටිය හැකි සියලු අපද්‍රව්‍ය හරිහැටි විනාශ කළ යුතුමය. එබැවින් කොවිඩ් 19 ආසාදිතව මියගිය මෘත ශරීර මිහිදන් කිරීමට තීරණය කළහොත් එය මහත් අනුවණකමකි. එය අදට හෙටට නොව අනාගතයේදී ඇතිවිය හැකි දරුණු ව්‍යසනයකට රුකුල් දීමක් විය හැකිය. එබැවින් ප්‍රවේශම් වෙමු. ජලයට වයිරසය කාන්දු වීම හැකිතාක් අවම කිරීමට වගබලා ගමු. එය අනාගත පරපුරේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට අපි ගන්නා සාධනීය පියවරක් බව මතක තබාගමු. (විශේෂ ස්තූතිය වෛද්‍ය කමනි ගුණසේකර මහත්මිය)
උදේනි සමන් කුමාර
Share This Article